22
පාකිස්තානයෙන් ගෙන්වන ලද කාබනික බාස්මතී සහල් තොගයක ජානමය වශයෙන් වෙනස් කරනු ලැබීමක් සිදුවී ඇතැයි යුරෝපා හවුලේ විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගෝලීය ආහාර සැපයුම්කරුවන් අතර දැඩි අවධානයට ලක්වූ මේ හෙළිදරව්ව පාකිස්තානයේ කෘෂිකාර්මික අංශයේ තත්ත්ව පාලන ක්‍රියාමාර්ග සම්බන්ධව දැඩි ගැටලුවක් මතු කර ඇතැයි ද, ජාත්‍යන්තර ආහාර නීති උල්ලංඝනය වීමක් එමගින් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය ජූලි මස 31 වැනිදා යුරෝපා හවුලේ බලධාරින් නෙදර්ලන්තය හරහා පාකිස්තානයෙන් ගෙන්වනු ලැබූ එම කාබනික බාස්මතී සහල් තොගයේ සාම්පල පරීක්ෂාවක් සිදු කර ඇති අතර, මේ අනාවරණය සිදුකර ඇත්තේ ඒ පරීක්ෂණයෙන් බව වාර්තා වේ. එහි වැඩිදුර පරීක්ෂණය සඳහා අදාළ සාම්පල ජර්මනියේ සහ ලක්සම්බර්ග් හි රජයේ රසායනාගාර වෙත යවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
පාකිස්තානයේ ආහාර තත්ත්ව සහතික පද්ධතියේ අස්ථාවරභාවය සහ එහි කෘෂිකාර්මික අපනයනවලදී ඇතිවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධව මේ වන විට යුරෝපා හවුලේ දැඩි අවධානය යොමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.