Home Sport News Room : ශ්‍රී ලංකාවට පළමු වටයේ තරග 3ක්ම රාත්‍රී කාලයේ

News Room : ශ්‍රී ලංකාවට පළමු වටයේ තරග 3ක්ම රාත්‍රී කාලයේ

0
0

ආසියානු තරගාවලියේ පරාජය කළ පාකිස්තානය ඔක්. 3දා පළමු ගැටුමේදී ශ්‍රී ලංකාවට හමුවේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන අයිසීසීය විසින් ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව නිමාවට පත්වූ ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් කඩුලු 3ක පරාජයක් ලැබූ පාකිස්තාන කාන්තාවෝ පළමු තරගයේදී ශ්‍රී ලංකාවට මුණගැසේ. එය තරගාවලිය ආරම්භ වන ඔක්තෝබර් 3 වැනිදා සාජා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වේ.

මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෑම කණ්ඩායමකටම මූලික වටයේ තරග 4 බැගින් ඇති අතර, ශ්‍රී ලංකාවට එයින් තුනක්ම ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ රාත්‍රී විදුලි ආලෝක ධාරා මැදවීම විශේෂත්වයකි. එලෙස මූලික වටයේ තරග තුන බැගින් විදුලි ආලෝක ධාරා මැද පාකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය හා ස්කොට්ලන්තය වැනි රටවලටද සිදුව තිබේ. පසුගිය ශූර ඔස්ට්‍රේලියාවට මූලික වටයේ ලැබී ඇති තරග 4ම රාත්‍රි විදුලි ආලෝක ධාරා මැද ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටයේ තරග ‘ඒ‘ හා ‘බී‘ ලෙස කාණ්ඩ දෙකකින් සමන්විත වේ. ‘ඒ‘ කාණ්ඩයෙන් වත්මන් ශූර ඔස්ට්‍රේලියාව සමඟ ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරග වදී. ‘බී‘ කාණ්ඩයට වත්මන් අනුශූර දකුණු අප්‍රිකාව සමඟ එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මෙම තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් අබුඩාබිහිදී පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගනිමින් තරගාවලියට පිවිසියේය.

මෙම තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමට කලින් සූදානම් කර තිබුණද එරට පවතින දේශපාලන අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන අයිසීසීය තරගාවලිය ඩුබායි, අබුඩාබි හා සාජා නගරවලදී පැවැත්වීමට තීරණය කළේය. එහෙත් මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගෙන ගියද බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට එම ඉසව්වේ සත්කාරකත්වය හිමිකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය.

අයිසීසී මූලස්ථානය පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මෑත වසරවලදී ක්‍රිකට් සඳහා සැලකිය යුතු කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, බොහෝ සුදුසුකම් ලැබීමේ තරගාවලි මෙන්ම ආසියානු කුසලාන හා ලෝක කුසලාන තරගාවලි පවත්වා ඇත.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here