Home Sport News Room : එංගලන්ත පිලේ වේග පන්දු තුරුම්පුවක් ටෙස්ට් තරගාවලියෙන් හැලෙයි

News Room : එංගලන්ත පිලේ වේග පන්දු තුරුම්පුවක් ටෙස්ට් තරගාවලියෙන් හැලෙයි

0
0

ප්‍රධාන පුහුණුකරු තනතුරට ‘සුදු ජාතිකයින්‘ ඕනෑ නෑ – මහාචාර්ය අර්ජුන

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී තවත් දින දෙකකින් ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පිලේ ප්‍රබල වේග පන්දු තුරුම්පුවක් වූ මාර්ක් වුඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉවත්කොට ඇත. ඇතැම් විට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරගාවලියේදී ඔහු සම්පූර්ණයෙන්ම ඉවතට යනු ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී. පළමු ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න දවාගත් මාර්ක් වුඩ් වෙනුවට ලෙස්ටර්ෂයර් පිලේ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හුල් ඇතුළත් කර තිබේ.

උස අඩි 6 අඟල් 7ක් වූ 20 හැවිරිදි ජොෂ් හුල් ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව සමඟ පැවති පුහුණු තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ක්‍රීඩා කොට ශ්‍රී ලංකා කඩුලු 5ක් දවා ගත්තේය. මැන්චෙස්ටර් පිටියේ පැවැති තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජයට පත්කළ එංගලන්ත කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (29) ලෝඩ්ස් හිදී ආරම්භ වේ.

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී පරාජයක් ලැබුවද ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් පිළිබඳ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් විස්තර විචාරක කුමාර් සංගක්කාර මහතා ප්‍රසාදය පළ කළේය. අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්ගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ කැපී පෙනෙන පිතිකරණයත්, පන්දු යවන්නන්ගේ විනයගරුක පන්දු යැවීමත් සංගක්කාරගේ ඇගැයුමට ලක් වූවේය. එමෙන්ම නායක ධනංජය ද සිල්වාගේ උපායශීලී ස්ථානගත කිරීම් පිළිබඳව ද ඔහු සතුට පළ කළේය. දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගොඩනැගූ සබඳතාවයෙන් එංගලන්තයට ලකුණු 200 ඉක්මවන අභියෝගාත්මක ඉලක්කයක් ලබාදීමට හැකිවීම සැලකිය යුතු දක්ෂතාවක් බව ද සංගක්කාර පැවසීය.

“අසිත ප්‍රනාන්දුට මෙයට වඩා හොඳ වේග පන්දු යැවීමේ සහායක් අවශ්‍යයි. තේරීම් කමිටුව ආරම්භක පිතිකරු මධුෂ්ක සඳහා විකල්ප සලකා බැලිය යුතුයි. ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පෙළේ පිතිකරණය ගැන සොයා බැලීම වැදගත්. දිමුත් කරුණාරත්න හොඳින් හැඩගැසී තිබුණත් මධුෂ්කට විකල්ප තිබිය හැකියි“ දක්ෂතා මෙන්ම වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර ද සංගක්කාර පෙන්වා දුන්නේය.

“ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සටන්කාමී ලෙස පන්දුවට පහර දුන් ආකාරයට මම කැමතියි. සමස්තයක් වශයෙන් ටෙස්ට් තරගයක කොන්දේසිවලට අනුවර්තනය වී ඇති ආකාරය හොඳ දෙයක්. කමිඳුගේ ඉනිම දෙස බලන විට, එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගෙන් මා දුටු සුවිශේෂී එකක්” සංගක්කාර ස්කයි ස්පෝර්ට්ස් ක්‍රිකට් විකාශනයේදී පැවසීය.

එම තරගයේ දෙවැනි ඉනිමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 113ක් ලබාගත් අතර, මැතිව්ස් හා චන්දිමාල් අර්ධ ශතක වාර්තා කළහ. තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ තෙවැනි ටෙස්ට් ශතකය හිටපු නායක කුමාර් සංගක්කාරගේ සිත් ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී එංගලන්තයට එරෙහිව බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් වාර්තා කිරීමට අවස්ථාවක් ඇති බව හිටපු එංගලන්ත නායක මයිකල් ඇතර්ටන් පැවසීය. “අපි ශ්‍රී ලංකාව තරගය පිටුපසින් සිටි නිසා දැඩි ලෙස විවේචනය කළා. නමුත් ඔවුන් හොඳ කණ්ඩායමක් බව අවසානයේ පෙන්වූවා” ඇතර්ටන් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට ‘සුදු ජාතිකයින්‘ අවශ්‍ය නොවන බව වත්මන් දක්ෂතා තුළින් තහවුරුවන බවය. විදෙස් සංචාරයකදී එම රටේ තත්ත්වයන්ට අනුකූල පරිදි තාවකාලිකව පිතිකරණ පුහුණුකරුවෙකු හෝ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ගැනීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කරන වත්මන් ක්‍රමවේදය නිවැරදි බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

“ අපට මූලිකව අවශ්‍ය වන්නේ විනය හැදීමයි. මම ක්‍රීඩකයින් සමඟ වැඩ කළ නිසා හොඳින් ඔවුන්ගේ දක්ෂතා දැක තියෙනවා. ඒ වගේම අභියෝගවලදී ප්‍රහාරාත්මක ක්‍රිකට් රටාව අවශ්‍යයි. මේ කරුණු දෙකම වත්මන් පුහුණුකරු සනත් හොඳින් කරගෙන යනවා. පන්දු රැකීම උපුල් චන්දන යටතේ දැන් දියුණු මට්ටමකට පැමිණ තියෙනවා. අපේ පුහුණුකරුවන්ට ජාතික හැඟීමක් තියෙනවා. අපේ අය කැමැති නෑ පරදින්න. සුදු ජාතිකයින් කරන්නේ රැකියාවක්. ඒ නිසා පුහුණු කාර්ය මණ්ඩලය වෙනස්වීම ඉතා හොඳ තීරණයක්“ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here