3
බටහිර ජර්මනියේ සොලිගන් නුවර පැවැති උත්සවයක් අතරතුර පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් අටදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිහි ප්‍රහාරයෙන් දිනකට පසු 26 හැවිරිදි පුද්ගලයකු පොලිසියට බාර වී ඇති අතර, ප්‍රහාරය ගැන පාපොච්චාරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පොලිසියට බාර වූ බව කියන පුද්ගලයා සිරියානු ජාතිකයකු බවත්, ඔහු 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ජර්මනියට පැමිණි පුද්ගලයකු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.
එම පිහි ප්‍රහාරයෙන් අවුරුදු 56 හා 57 වයස් කාණ්ඩයේ පසුවන පිරිමින් දෙදෙනකු හා 56 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඊට මොහොතකට පසු නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බව අයිඑස් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර තිබේ.
පසුගිය සිකුරාදා එම පිහි ප්‍රහාරය සිදුවී ඇති අතර, ඊට පැය කිහිපයකට පසු පොලීසිය විසින් ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි සරණාගත කඳවුරක් වටලා ඇති අතර, ප්‍රහාරය ගැන වේලාසනින් දැන සිටි බව කියන 15 හැවිරිදි දරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි. සොලිගන් නුවර වසර 650ක ඉතිහාසය සැමරීමට සඳහා දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ එම සංවත්සර උත්සවය පිහි ප්‍රහාරයත් සමඟ අවලංගු කළ බව ද වාර්තා වේ.