18
ජපාන මුහුදු ආහාර නිෂ්පාදන තහනමට ලක් කර තිබියදීත්, චීන ධීවර බෝට්ටු නීතිවිරෝධීව ජපාන මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවන බවට ජපානය චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට වසරකට පෙර ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුහුදට මුදා හැරීමෙන් පසු චීනය එරට නිෂ්පාදිත මුහුදු ආහාර ආනයනය තහනම් කර ඇති අතර, එවැනි තත්ත්වයක් තුළ චීන ධීවර බෝට්ටු ජපාන මුහුදේ ධීවර කටයුතුවල නිරතවීම ගැටලුසහගත බවත් ජපානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ජපානයේ හොඩයිකෝ සහ සන්රිකු වෙරළාසන්න පිහිටි මුහුද ධීවර කටයුතු සඳහා වඩාත් සුදුසු ස්ථාන බවට හඳුන්වන අතර, එම කලාපය තුළ චීන ධීවර බෝට්ටු සිය ධීවර කටයුතුවල නිරතවන බවට ජපානය චෝදනා කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. දත්ත වාර්තාවලට අනුව වසර 2021 දක්වා කාලය තුළ සන්රිකු මුහුදු සීමාවේ චීන යාත්‍රාවල ධීවර කටයුතු සිදු නොවුණු බවත්, 2022 දී චීන ධීවර යාත්‍රා 50කට අධික ප්‍රමාණයක් එහි ධීවර කටයුතුවල නිරත වූ බවත් ජපානයේ නිකී ඒසියා පුවත් සේවය වාර්තා කළේය. මේ වන විට එම තත්ත්වය වඩාත් වර්ධනය වී ඇතැයි ද වාර්තා වේ.