31
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක්වීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණීමට නියමිතය.
අයිසීසී ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් මේ තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ලේදී ආරම්භ වෙයි. දෙපිල අතර පළමු තරගයට දින 6ක් වෙන් කර ඇති අතර, මේ තරගය දින 3කට පසු එනම් සැප්තැම්බර් 21 වැනිදා විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි.
එදින මෙරට ජනාධිපතිරණය පැවැත්වීම හේතුවෙන් මෙලෙස තරගයට විවේක දිනයක් ලබා දීමට කටයුතු කර ඇත. අනතුරුව 22 සහ 23 තරගයේ අවසන් දින දෙක පැවැත්වෙනු ඇත. දෙවැනි තරගයත් ගාල්ලේදී පැවැත්වෙන්නේ සැප්තැම්බර් 26 සිට 30දා දක්වාය.
රටක මැතිවරණයක් හේතුවෙන් ටෙස්ට් තරගයක් අතරතුර විවේක දිනයක් ලබා දී ඇත්තේ වසර 16කට පසුවය. අවසන් වරට 2008 වසරේ දෙසැම්බර් මස ඩකාහිදී පැවති බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය අතරතුර එරට පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් විවේක දිනයක් (දෙසැම්බර් 29) ලබාදී ඇත. මින් පෙර ශ්‍රී ලංකාවේ පැවති තරගයකදී විවේක දිනයක් ලබාදී ඇත්තේ 2001 වසරේ දෙසැම්බර් 27 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එස්එස්සී පිටියේදී පැවති ටෙස්ට් තරගයේදීය. එම තරගයේ දින 3කට පසුව දෙසැම්බර් මස 30 වැනිදා විවේක දිනයක් ලබාදී ඇති අතර, ඒ පුර පසළොස්වක පොහොය දිනයක් හේතුවෙනි. 1990 ගණන්වල එංගලන්තයේදීද ටෙස්ට් තරගවල ඉරිදා විවේක දින ලබාදී තිබේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට පසුගිය වසරේ එරටදී තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක්වූ අතර, නවසීලන්ත පිල අවසන් වරට මෙරට තරග සංචාරයකට එක් වූයේ 2019 වසරේදීය.
එහිදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය.
ශ්‍රී ලංකා සංචාරයට පෙර නවසීලන්ත පිල ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩාහිදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ටෙස්ට් තරගයකට එක්වන අතර, එම තරගය සැප්තැම්බර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වේ. අනතුරුව නවසීලන්ත පිල මෙරටට පැමිණීමට නියමිතය.
නිරෝෂාන් ප්‍රියංකර