25
පුහුණුව හා නිපුණත්වය අතින් පහළ මට්ටමක පසුවීමත්, විෂමාචාර සිදුවීම්වලට වැඩි වශයෙන් සම්බන්ධවීමත් හේතුවෙන් පාකිස්තානුවන්ට මැදපෙරදිග රටවල රැකියා අවස්ථා පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේ පළවන ඩෝන් ඉංග්‍රීසි පුවත්පත සඳහන් කර ඇත්තේ පාකිස්තාන ජනතාවට මැදපෙරදිග රැකියා අවස්ථා පහළ වැටීමට ඔවුන්ගේ අශිලාචාර හැසිරීම් රටාව ද හේතු වී ඇති බවය.
විදේශගත පාකිස්තානුවන් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවට මේ පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වී ඇතැයි ද, පාකිස්තානුවන්ට ගල්ෆ් රටවල රැකියා අවස්ථාව පහත වැටීමට හේතු රැසක් එහිදී අනාවරණය වී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
සිය රට තුළ සිටින පාකිස්තානුවන්ගේ හැසිරීම් සම්බන්ධව පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් දැඩි කනස්සල්ල පළ කිරීමත්, එරට සිදුවන අපරාධවලින් 50%කටම පාකිස්තානුවන් සම්බන්ධ බවට තොරතුරු හෙළි වීමත් පාර්ලිමේන්තු කමිටුවේදී දැඩි අවධානයට ලක් වී ඇතැයි ද වාර්තා වේ.
තාක්ෂණික වශයෙන් ලොව වඩාත් ප්‍රගතියක් ලබා සිටියද, විදේශගතවන පාකිස්තානුවන් සැලකිය යුතු පිරිසක් නුපුහුණු කම්කරුවන් වීම සහ රටේ නීතියට අනුගතවීමට දක්වන විරෝධතාව හේතුවෙන් බංග්ලාදේශය වැනි රටවලින් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සෞදි අරාබිය හා කුවේට් වැනි මැදපෙරදිග රටවල් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.