22
පාකිස්තාන පාර්ලිමේන්තු සංකීර්ණයේ මීයන් බෝවීමෙන් මන්ත්‍රීවරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය. පාර්ලිමේන්තුවේ මී අර්බුදය වැඩි අවධානයට ලක්වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තු කමිටුවක ඉල්ලීම මත වසර 2008 සිට පාර්ලිමේන්තු වාර්තා සොයා ගැනීමට නිලධාරීන් විසින් එහි ලිපිලේඛන ගබඩාව පරීක්ෂා කිරීමේදීය. එහිදී සොයාගනු ලැබූ බොහෝ වාර්තා පිටපත් මීයන් විසින් විනාශ කර දමා ඇතැයි හෙළිවීමත් සමඟ මී උවදුර පාර්ලිමේන්තුවේ බරපතළ කාරණාවක් බවට පත්වී ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
විශේෂයෙන් එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාගේ කාර්යාලය සහ විශේෂ කමිටු රැස්වීම් පවත්වනු ලබන ශාලාව පිහිටි පළමු මහලේ මීයන් බහුලව ගැවසෙන බවත්, බළලුන් පවා බියපත් වන ආකාරයේ විශාල මීයන් එහි සිටින බවත් වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ මී උවදුර තුරන් කිරීම සඳහා පාකිස්තාන රුපියල් මිලියන 1.2ක මුදලක් වෙන් කිරීමට ද රජයට සිදුවී ඇති අතර, ඒ සඳහා මීයන් දඩයම් කරන විශේෂ බළල් විශේෂයක් යොදා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.