26
සාන්ත පීතර කණ්ඩායමේ නායක දුලාජ් නවෝද්‍ය ශූරතා කුසලානය, ඩයලොග් ආසිආටා පී.එල්.සීහි අධ්යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා අතින් ලබාගත් අයුරු. (වමේ සිට) සාන්ත පීතර විදුහලේ විදුහල්පති රෝහිත රුද්‍රිගු පියතුමන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ඒ.ඩබ්. නානායක්කාර, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ, ඩයලොග් ආසිආටා පී.එල්.සීහි සමූහ ප්‍රධාන වාණිජ නිලධාරි මුනේෂ් ඩේවිඩ්, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් මනුජ නිම්මාන යන පිරිස ද මේ අවස්ථාවට එක් වූහ.
අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේදී සාන්ත පීතර සහ ඉසිපතන විදුහල් අතර පැවති අපරාජිතයන්ගේ තීරණාත්මක තරගයෙන් ලකුණු 6-3ක තියුණු ජයක් වාර්තා කළ සාන්ත පීතර විදුහලේ ක්‍රීඩකයෝ අඛණ්ඩව දෙවැනි වරටත් ලීග් කුසලානය දිනා ගැනීමට සමත් වූහ.
හැව්ලොක් පිටියේ පසුගියදා පැවති මේ තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 3-0කින් පෙරමුණ ගත් සාන්ත පීතර විදුහල් පිල තරගය ජයගත්තේ දෙවැනි භාගයේදී ඉසිපතනය සමඟ කරට කර සටනකින් පසුවය. සාන්ත පීතර විදුහල් පිල තරගය පුරා දඬුවම් පහර 2ක් රැස් කළ අතර, ඉසිපතන විදුහලට ලබා ගත හැකි වූයේ එක් දඬුවම් පහරක් පමණි.