23
සිය ජාත්‍යන්තර විස්සයි20 තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් හර්ෂිතා මාධවී සමරවික්‍රම ක්‍රියාත්මක කළ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් අයර්ලන්ත කාන්තා පිලට එරෙහිව ඩබ්ලින්හිදී ඊයේ පැවති පළමු විස්සයි20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මේ සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය.
පළමු වරට ශ්‍රී ලංකා නායිකාව ලෙස කටයුතු කළ අනුෂ්කා සංජීවනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නාය. ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 16.4කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.
නිත්‍යා නායිකා චමරි අතපත්තු මේ තරගාවලියට එක් නොවීම හේතුවෙන් විශ්මි ගුණරත්න සමඟින් පිළිතුරු ඉනිම ඇරඹූ හර්ෂිතා සමරවික්‍රම තරගයේ ජය තහවුරු කළේ නොදැවී ලකුණු 86ක් රැස් කරමිනි. හතරේ පහර 15කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් ඇය ඒ සඳහා වැය කළේ පන්දු 45ක් පමණි. විශ්ම-හර්ෂිතා එක්ව පළමු කඩුල්ලට ලකුණු 83ක් රැස් කළ අතර, පන්දු 34කින් ලකුණු 30ක් රැස් කර සිටි විශ්මි දැවී යෑමෙන් පළමු කඩුල්ලේ සබඳතාව නිමා විය.
ඊයේ සිය විස්සයි20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම සටහන් කර ගැනීමට ද හර්ෂිතා සමත් වූවාය. ඇය මින් පෙර 2022 වසරේ තායිලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 81ක ඉහළම ඉනිම වූවාය.
කවිෂා දිල්හාරි ලකුණු 9කට සහ නායිකා අනුෂ්කා සංජීවනි ලකුණු 12කට දැවී ගියහ. 17 වැනි ඕවරයේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දුවලට පිට පිට හතරේ පහර 3ක් එල්ල කරමින් හර්ෂිතා සිය හොඳම ඉනිම මෙන්ම ශ්‍රී ලංකා පිලේ ජය තහවුරු කළාය. පන්දු යැවීමේදී ලෝරා ඩෙලනි, ආර්ලින් කෙලී සහ ෆ්රියා සාජන්ට් කඩුල්ල බැගින් දවා ගත්හ.
අයර්ලන්ත ඉනිමට වේගවත් ආරම්භයක් දීමට උත්සාහ කළ ඇමී හන්ටර් පන්දු 12කින් ලකුණු 17ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, ගේබි ලුවිස් පන්දු 33කින් ලකුණු 39ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. ඇය දෙවැනි කඩුල්ලට ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් සමඟ එක්වූ පන්දු 44කින් ලකුණු 59ක සබඳතාවක් ගොඩනැඟුවාය. ඔර්ලා ලකුණු 29ක් රැස් කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, නායිකා ලෝරා ඩෙලනි ලකුණු 25ක් සහ රෙබෙකා ස්ටොකල් ලකුණු 21ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2ක් බිඳ දැමූ අතර, උදේශිකා ප්‍රබෝධනි සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්හ.
දෙපිල අතර දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය හෙට (13) ඩබ්ලින්හිදීම පැවැත්වේ.
අයර්ලන්ත කාන්තා පිල – 145/6 (ඕවර 20) ගේබි ලුවිස් 39, ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් 29, ලෝරා ඩෙලනි 25, රෙබෙකා ස්ටොකල් 21, ඇමී හන්ටර් 17 (ඉනෝෂි ප්‍රියදර්ශනි 35/2, උදේශිකා ප්‍රබෝධනි 20/1, සුගන්දිකා කුමාරි 23/1)
ශ්‍රී ලංකා කාන්තා පිල – 149/3 (ඕවර 16.4) හර්ෂිතා සමරවික්‍රම නොදැවී 86, විශ්මි ගුණරත්න 30, අනුෂ්කා සංජීවනි 12 (ලෝරා ඩෙලනි 16/1, ආර්ලින් කෙලී 26/1, ෆ්රියා සාජන්ට් 27/1)