මධ්‍යධරණී මුහුදේදි ඩිංගි යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් එහි සිටි සංක්‍රමණිකයන් 60 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලිබියානු වෙරළ තීරයේ සිට යාත්‍රා කළ බව කියන එම ඩිංගි යාත්‍රාවේ ලිබියානු සංක්‍රමණිකයන් 85 දෙනකු සිටි බවත්, සෙසු පුද්ගලයන් 25 දෙනා මුහුදු අනතුරු වළක්වා ගැනීමේ ‘ඕෂන් වයිකිං‘ නමැති නෞකාවක ආපදා මෙහෙයුම් කණ්ඩායමක් විසින් බේරා ගනු ලැබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ඩිංගි යාත්‍රාවේ එංජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් දින තුනක කාලයක් ආහාර සහ ජලය නොමැතිව මධ්‍යධරණී මුහුදේ පාවෙමින් සිටි බව දිවි බේරාගත් පුද්ගලයන් ප්‍රකාශ කර තිබේ. මිය ගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින බව දිවි බේරාගත් පුද්ගලයන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ආපදා සේවා කණ්ඩායම විසින් බේරා ගනු ලැබූ පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවත්, ඔවුන් සියලුදෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසිලියා දූපත වෙත රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.
The post ලිබියානු සංක්රමණිකයෝ 60ක් මධ්‍යධරණී මුහුදේදී මරුට appeared first on දිනමිණ.