14
යාපනයේ 17 හැවිදිරි පාසල් ක්‍රිකට් ක්රීඩකයකුට මෙවර අයිපීඑල් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලේ දැල් තුළ පුහුණුවීම් සඳහා පන්දු යවන ක්‍රීඩකයකු (Net Bowler)ලෙස කටයුතු කිරීමේ අවස්ථාවක් ලැබී ඇතැයි වාර්තා වේ. යාපනයේ සාන්ත ජෝන් විදුහල් පිලේ පළමුපෙළ කණ්ඩායමේ වේගපන්දු යවන්නකු වන කුගදාස් මාදුලන් පසුගියදා පැවති යාපනයේ මැදි විදුහල සහ සාන්ත ජෝන් විදුහල අතර ‘උතුරු සටන’ පාසල් මහා ක්‍රිකට් තරගයේදී විස්මිත යෝකර් පන්දුවකින් ප්‍රතිවාදී පිතිකරුවාගේ කඩුල්ල බිඳ දැමීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍යජාලය තුළ දැකීමෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි දැඩි විමතියට පත් වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව් හා සමාන ඉරියව් ඇති මාදුලන්ගේ පන්දු යැවීම වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමට සහ ඔහු චෙන්නායි සුපර් කිංග්ස් පිලේ දැල් තුළ පුහුණුවීම් සඳහා පන්දු යවන ක්‍රීඩකයකු ලෙස තෝරා ගැනීම දෝනිගේ ඉල්ලීම මත සිදු වූවාක් බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා පිලේ යොවුන් වේගපන්දු යවන්නා වන මතීෂ පතිරණ ද චෙන්නායි පිලට ඇතුළත් කරගනු ලැබුවේ දෝනිගේ ඉල්ලීම පරිදිය.
කුගදාස් මාදුලන් මේ වන විට චෙන්නායි නුවරට ගොස් සිටින බවත්, ඔහු ඉදිරි දිනවලදී චෙන්නායි පිලේ පිතිකරුවන්ට පුහුණුවීම්වලදී පන්දු යැවීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
අයිපීඑල් කුසලානයට පස්වතාවක් හිමිකම් කියන චෙන්නායි සුපර් කිංග්ස් පිල මෙවරත් දෝනිගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන අතර, ලබන 22 වැනිදා තරගාවලියට ආරම්භ වීමට නියමිතය.
ෆවුස් මොහොමඩ්