96
ව්ලැදිමිර් පුටින් පස්වැනි වතාවටත් තනතුර අපේක්ෂා කරන රුසියාවේ අටවැනි ජනාධිපතිවරණය අද ඇරඹෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අද සිට 17 වැනිදා දක්වා දින තුනක කාලයක් පැවැත්වෙන රුසියාවේ ජනාධිපතිවරණයට මෙවර පුටින් ඉදිරිපත් වී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසිනි. වසර 2020දී එරට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සංශෝධනයට අනුව ඔහුගේ පෙර ධුර කාලයන් අහෝසි වන බැවින් මෙවර ජනාධිපතිවරණය ඔහුගේ පළමු වැන්න ලෙස සැලකෙන බව වැඩිදුරටත් වාර්තා වේ. නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙන් වසර 6 බැගින් පිට පිට දෙවතාවක් නැවත ජනාධිපති ධුරයෙහි කටයුතු කිරීමේ අවස්ථාව 71 හැවිරිදි පුටින්ට ලැබී ඇතැයි ද වාර්තා වේ. මෙවරත් ඔහුගේ ජය නියත බවත්, ඔහු වසර 2036 දක්වා රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බවට අනාවැකි පළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පුටින් සමඟ ඩුමා ප්‍රාන්තයේ නියෝජ්‍ය සභාපතිවරයා වන රුසියානු නව මහජන පක්ෂයේ 40 හැවිරිදි ව්ලැදිස්ලව් දවන්කොව්, ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායක 56 හැවිරිදි ලියොනිඩ් ස්ලට්ස්කි, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ 75 හැවිරිදි නිකොලායි කරිටනොව් මෙවර ජනාධිපතිවරණයට එක් වී සිටින බව වාර්තා වේ. කිසිදු අපේක්ෂකයකුට 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වූයේ නම් දෙවැනි වටයේ ඡන්ද විමසීමක් සිදු වන අතර, එය සති තුනකට පසු එනම්, අප්‍රේල් මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය.
වසර 1999 අගෝස්තුවේදී එවකට ජනාධිපති බොරිස් යෙල්ට්සින් යටතේ අගමැති ධුරයේ කටයුතු කළ පුටින් එම වසරේදිම දෙසැම්බරයේදී යෙල්ට්සින් තනතුරෙන් ඉවත් වීම හේතුවෙන් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, පළමුවරට නිල වශයෙන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ 2000 සිට 2004 දක්වා කාලයේදීය. අනතුරුව 2004 සිට 2008 දක්වා ඔහු දෙවැනි වරටත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, එවකට එරට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පිට පිට දෙවතාවකට වඩා ජනාධිපති ධුරයේ කටයුතු කළ නොහැකි වීම හේතුවෙන් 2008 සිට 2012 දක්වා කාලයේදී ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් යටතේ අගමැතිවරයා ලෙස කටයුතු කර තිබේ. පුටින් මේ දක්වා අඛණ්ඩව රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ 2012 වසරේ සිටය.