267
නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ ශතකයත්, මුෂ්ෆිකුර් රහීම්ගේ අර්ධ ශතකයත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ චැටෝග්‍රෑම්හිදී පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය.
මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඔවුන්ට හැකි විණි.
දිවා රාත්‍රි තරගයක් ලෙස පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 255කට සීමා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු 32ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි.
බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භයේදීම සාර්ථක සටනක් දීමට ඩිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මදුෂාන් සමත් වූයේ මුල් කඩුලු 3 ලකුණු 23ක් තුළ දවා ගනිමිනි.
ආරම්භක පිතිකරුවන් වූ ලිටොන් දාස් මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, සෞම්‍ය සර්කාර් ලකුණු 3කට දැවී ගියේය. ඔවුන් දෙදෙනාම මධුෂංකට ගොදුරු වූ අතර, මදුෂාන්ගේ පන්දුවකින් තව්හිඩ් හ්රිඩෝයි (3) දැවී ගියේය.
එහෙත් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකත්වයෙන් ඉනිමක නිරත වෙමින් කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන ගියේය.
මහමුදුල්ලාහ් (37) සමඟින් සිවුවැනි කඩුල්ලට ලකුණු 69ක් එක් කළ ෂැන්ටෝ අනතුරුව ජ්‍යෙෂ්ඨ පිතිකරු මුෂ්ෆිකුර් රහීම් සමඟ එක්ව 5 වැනි කඩුල්ලට ගොඩනැඟූ නොබිඳුණු සබඳතාව ලකුණු 165ක් විය. පන්දු 129කින් ලකුණු 122ක් රැස් කළ ෂැන්ටෝ හතරේ පහර 13කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගත් අතර, රහීම් හතරේ පහර 8ක් සමඟ පන්දු 84කින් නොදැවී ලකුණු 73ක් රැස් කළේය.
පළමුව පන්දුව පහරදුන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 59කින් ලකුණු 71ක් එක් කළහ.
කෙසේ වෙතත් පිට පිට ඕවර දෙකකදී එක් ලකුණක් තුළ ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ටැන්සිම් හසන් සකිබ් සමත් විය. අවිශ්ක පන්දු 33කින් ලකුණු 33ක් ලබා සිටියදී මුෂ්ෆීකුර් රහීම් අතට උඩ පන්දුවක් දුන් අතර, සෞම්‍ය සර්කාර් අතට උඩ පන්දුවක් දෙමින් නිශ්ශංක දැවී යන විට පන්දු 28කින් ලකුණු 36ක් රැස් කර තිබිණි.
තවත් ලකුණු 12ක් තුළ ටැන්සිම්ගේ තෙවැනි ගොදුර බවට සදීර සමරවික්‍රම පත්වූ අතර, ඔහුට රැස් කළ හැකි වූයේ ලකුණු 3ක් පමණි. මුළු ලකුණු 128දී සිව්වැනි කඩුල්ල ලෙස උපනායක චරිත් අසලංක (18) දැවීයෑමෙන් පසු නායක කුසල් සමඟ එක් වූ ජනිත් ලියනගේ ලකුණු 69ක සබඳතාවකින් මුළු ලකුණු සංඛ්‍යාව 197 දක්වා ඉදිරියට ගෙන ගියහ.
ඊයේ සිය 29 වැනි එක්දින අර්ධ ශතකය රැස් කළ කුසල් ටස්කින් අහමඩ් හමුවේ දැවී යන විට පන්දු 75කින් ලකුණු 59ක් රැස් කර තිබුණේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟිනි. කෙසේ වෙතත් ඉන් නොනැවතුණු ජනිත් පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව ඉනිම ඉදිරියට ඇදගෙන ගියේය. ඔහු 8 වැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 244ක් විය. පන්දු 69කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 67ක් රැස් කිරීමට ජනිත් සමත් වූයේ තෙවැනි එක්දින අර්ධ ශතකය ලෙසිනි. එක්දින ඉනිම 4ක් ක්‍රීඩා කර ඇති ජනිත් ඊයේ රැස් කළේ පිට පිට තෙවැනි අර්ධ ශතකයයි. ඔහු මින් පෙර ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 50ක් සහ සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 95ක් රැස් කර තිබිණි.
පන්දු යැවීමේදී ටැන්සිම් හසන් සකිබ්, ශොරිෆුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් කඩුලු 3 බැගින් දවා ගත්හ.
දෙපිල අතර දෙවැනි එක්දින තරගය හෙට (15) චැටෝග්රෑම්හිදීම පැවැත්වේ.
ශ්‍රී ලංකාව
පැතුම් නිශ්ශංක ඇ.සර්කාර් ප.ටැන්සිම් 36
අවිශ්ක ප්‍රනාන්දු ඇ.රහීම් ප.ටැන්සිම් 33
කුසල් මෙන්ඩිස් ඇ.ෂැන්ටෝ ප.ටස්කින් 59
සදීර සමරවික්රමි ඇ.රහීම් ප.ටැන්සිම් 3
චරිත් අසලංක ප.මෙහෙදි 18
ජනිත් ලියනගේ ඇ.රහීම් ප.ඉස්ලාම් 67
වනිඳු හසරංග ඇ.හ්රිඩෝයි ප.ටස්කින් 13
මහීෂ් තීක්ෂණ ඇ.දාස් ප.ටස්කින් 1
ප්‍රමෝද් මදුෂාන් ඇ.රහීම් ප.ඉස්ලාම් 8
ළහිරු කුමාර නොදැවී 5
ඩිල්ෂාන් මධුශංක ඇ.ටැන්සිම් ප.ඉස්ලාම් 0
අතිරේක 12
එකතුව සියල්ලන් දැවී (ඕවර 48.5) 255
කඩුලු බිඳ වැටීම: 1-71, 2-72, 3-84, 4-128, 5-197, 6-221, 7-225, 8-244, 9-255, 10-255
පන්දු යැවීම: ඉස්ලාම් 9.5-1-51-3, ටස්කින් 10-1-60-3, ටැන්සිම් 8.4-0-44-3, ඉස්ලාම් 8-0-54-0, මෙහෙදි 10-1-33-1, සර්කාර් 2.2-0-11-0.
බංග්ලාදේශය
ලිටොන් දාස් ප.මධුෂංක 0
සෞම්‍ය සර්කාර් ඇ.තීක්ෂණ ප.මධුෂංක 3
නජ්මුල් ෂැන්ටෝ නොදැවී 122
තව්හිඩ් හ්රිඩෝයි ප.මදුෂාන් 3
මහමුදුල්ලාහ් ඇ.මධුෂංක ප.කුමාර 37
මුෂ්ෆිකුර් රහීම් නොදැවී 73
අතිරේක 19
එකතුව කඩුලු 4ක් දැවී (ඕවර 44.4) 257
කඩුලු බිඳ වැටීම: 1-0, 2-14, 3-23, 4-92
පන්දු යැවීම: මධුෂංක 8-1-44-2, මදුෂාන් 8-0-53-1, කුමාර 6-0-35-1, තීක්ෂණ 9.4-0-47-0, හසරංග 8-0-54-0, ජනිත් 5-0-22-0