Home Sport News Room : නුවන් තුෂාර ‘හැට්‍රික්’ ලැබූ ශ්‍රී ලංකාවේ 5 වැනි පන්දු...

News Room : නුවන් තුෂාර ‘හැට්‍රික්’ ලැබූ ශ්‍රී ලංකාවේ 5 වැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙයි

0
0

දිනලා ඉවර නිසා ‘ටයිම් අවුට්’සමච්චලය නවත්වන ලෙස සැන්ටෝගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකාවේ කඩුලු ත්‍රිත්වයක් ලැබූ පස්වැනි පන්දු යවන්නා ලෙස නුවන් තුෂාර ක්‍රිකට් වාර්තා පොතේ නව වාර්තාවක් සනිටුහන් කරයි. මෙයට පෙර තිසර පෙරේරා, ලසිත් මාලිංග (අවස්ථා දෙකකදී), අකිල ධනංජය හා වනිඳු හසරංග මේ දක්ෂතාව දැක්වූහ.

බංග්ලාදේශය වසරක් තිස්සේ තම නිජබිමේදී පැවති විස්සයි20 තරගාවලි තුනක් පිට පිට ජයග්‍රහණය කොට තිබූ අතර, බංගලියන්ගේ ඒ ජයග්‍රාහී ගමන මෙවර නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිල මේ වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පිට පිට ජයග්‍රහණය කළ තෙවැනි විස්සයි20 තරගාවලි ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශයේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දී කඩුලු 7කට ලකුණු 174ක් ලබාගත් අතර, බංග්ලාදේශය ලකුණු 146කට සියලු දෙනා දැවී ගිය බැවින් ශ්‍රී ලංකා පිල ලකුණු 28ක ජයක් ලැබීය. බංග්ලාදේශ සිහින සියල්ල බොඳ කළ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමානව පන්දු යවන 29 හැවිරිදි නුවන් තුෂාර ලකුණු 20කට කඩුලු 5ක් බිඳහෙළීමෙන් තරගය කණපිට හැරවීය. බංග්ලාදේශ පිතිකරුවෝ තුෂාරගේ යෝකර් පන්දු හමුවේ අන්දමන්දව ගියහ. කෙසේ වුවද පන්දු 30කදී හයේ 7ක් සමඟ ලකුණු 53ක් ලැබීමට රිෂාඩ් හොසේන් සමත් වීම නරඹන්නන්ගේ සතුටට හේතු විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 55කදී හයේ හා හතරේ පහර 6 බැගින් එල්ලකොට ලකුණු 86ක් ලබා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය. විස්මිත පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර තරගයේ වීරයා සම්මානයට පාත්‍රවිය.

බංග්ලාදේශය සමඟ තරගාවලියේ ජයග්‍රාහී කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනා එක මොහොතේ අතේ මැණික් කටුව දෙසට අඟිල්ල තබා ‘ටයිම් අවුට්’ සිද්ධිය යළි මෙනෙහි කළහ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දී පිටියෙන් එළියට දැමීම මේ අභිනයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිළිබිඹු කළහ.

එහෙත් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී නායක නජිමුල් හොසේන් සැන්ටෝ පැවසුවේ එවැනි සැමරුම් අනවශ්‍ය බවයි. “දැන් දිනලා ඉවරයි. ‘ටයිම් අවුට්’ සමච්චලය නවත්වන්න කියා මා ඉල්ලා සිටිනවා. ලොකු සද්දයක් දානවා. ඒත් අපි ඒ ගැන කලබල වෙන්නේ නැහැ” හෙතෙම පැවසීය. මේ තරගය අතරතුර තව්හීඩ් හිරිඩෝයිගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ සුළු ආරවුලක් ඇති විය. මේ පිළිබඳව සැන්ටෝගෙන් විමසූ විට තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි20 කඩුලු ත්‍රිත්ව වාර්තා

තිසර පෙරේරා 2015 රංචිහිදී 33/3 (පාණ්ඩ්‍යා, රයිනා, යුවරාජ්)

ලසිත් මාලිංග 2017 කොළඹදී 34/3 (මුෂ්ෆිකර්, මොටාසා, මෙහෙදි)

ලසිත් මාලිංග 2019 පල්ලෙකැලේදී (මැන්රෝ, රදර්ෆර්ඩ්, ග්‍රෑන්ඩ්හෝම්, ටේලර්)

අකිල ධනංජය 2021 ඇන්ටිගුවාහිදී 62/3 (ලෙවිස්, ගේල්, පුරාන්)

වනිඳු හසරංග 2022 සාජාහිදී 20/3 (මාක්රාම්, බවුමා, ප්‍රිටොරියස්)

නුවන් තුෂාර 2024 සිල්හෙට්හිදී 20/5 (සැන්ටෝ, හිරිඩෝයි, මහමුදුල්ලාහ්)

ශ්‍රී ලංකාව

ධනංජය ද සිල්වා ඇ.සර්කාර් ප.ටස්කින් 8

කුසල් මෙන්ඩිස් ඇ.සර්කාර් ප.ටස්කින් 86

කමිඳු මෙන්ඩිස් ඇ.ඉස්ලාම් ප.හොසේන් 12

වනිඳු හසරංග ඇ.ඉස්ලාම් ප.රහ්මාන් 15

චරිත් අසලංක ඇ.රහ්මාන් ප.ඉස්ලාම් 3

ඇන්ජලෝ මැතිව්ස් ඇ.සර්කාර් ප.හොසේන් 10

දසුන් ශානක දුවද්දී දැවී ගියා 19

සදීර සමරවික්‍රම නොදැවී 7

අතිරේක 14

එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 20) 174

කඩුලු බිඳවැටීම: 1-18, 2-52, 3-111, 4-133, 5-140,

6-152, 7-174

පන්දු යැවීම: ඉස්ලාම් 4-0-28-1, ටස්කින් 4-0-25-2, මෙහෙදි 3-0-22-0, රහ්මාන් 4-0-47-1, හොසේන් 4-0-35-2, සර්කාර් 1-0-11-0.

බංග්ලාදේශය

ලිටොන් දාස් ඇ.ශානක ප.ධනංජය 7

සෞම්‍ය සර්කාර් ප.තුෂාර 11

නජ්මුල් ෂැන්ටෝ ප.තුෂාර 1

තව්හිඩ් හ්‍රිඩෝයි ප.තුෂාර 0

මහමුදුල්ලාහ් ක.මු.ක. ප.තුෂාර 0

ජාකර් අලි ක.මු.ක. ප.හසරංග 4

මෙහෙදි හසන් ප.හසරංග 19

රිසාඩ් හොසේන් ඇ.සදීර ප.තීක්ෂණ 53

ටස්කින් අහමඩ් ඇ.ධනංජය ප.ශානක 31

ශොරිෆුල් ඉස්ලාම් ඇ.ශානක ප.තුෂාර 4

මුස්ටෆිසූර් රහ්මාන් නොදැවී 7

අතිරේක 9

එකතුව සියල්ලන් දැවී (ඕවර 19.4) 146

කඩුලු බිඳ වැටීම: 1-13, 2-15, 3-15, 4-15, 5-24, 6-32,

7-76, 8-117, 9-134, 10-146

පන්දු යැවීම: මැතිව්ස් 1.1-0-5-0, බිනුර 4-0-39-0,

ධනංජය 0.5-0-2-1, තුෂාර 4-1-20-5, හසරංග 4-0-32-2,

තීක්ෂණ 4-0-35-1, ශානක 1.4-0-11-1.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here