15
වසර 2022 දී රාජ්‍ය විරෝධී විරෝධතාවලින් පසු ඉරානයේ පළමු මැතිවරණය ඊයේ පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මැතිවරණය ඉරානයේ නායකත්වය සඳහා නීත්‍යනුකූලභාවය සහ ජාතික සහයෝගිතාව පිළිබඳ තීරණාත්මක පරික්ෂණයක් බව දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
හිස් ආවරණ පැලඳීම ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළ ඉරානයේ 22 හැවිරිදි සමාජ ක්‍රියාකාරිනියක වූ මහ්සා අමිනි පොලිස් අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඉරානයේ විරෝධතා උද්ගත වූ අතර, මෙවර මැතිවරණයේදී එම සිදුවිම මුල් කරමින් බහුතර ජනතාව ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉරානයේ ඡන්දදායකයන් මිලියන 61.2ක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම සහ විශේෂඥයන්ගේ සභාව තෝරා පත් කරගැනීම සඳහා වෙන් වෙන් වශයෙන් මැතිවරණය පැවැත්වේ. උත්තරීතර නායකයා සහ හමුදා අණදෙන නිලධාරියා ලෙස ඉරානයේ නායකයා පත් කරනු ලබන්නේ එම විශේෂඥයන්ගේ සභාව විසිනි.
ඡන්දය භාවිත කරන ලෙස එරට උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති අතර, දශක තුනක කාලයක් එරට නායකත්වය දැරූ අල් කමේනි ජනතාවට කියා ඇත්තේ ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් කිසිදු ගැටලුවක් විසඳෙන්නේ නැති බවය.






