15
කොලරා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින සැම්බියාවට ඉන්දියාවෙන් ටොන් 3.5ක සෞඛ්‍ය උපකරණ තොගයක් යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ සිට සැම්බියාවෙන් කොලරා මරණ 600කට වඩා වාර්තා වන අතර, පීඩාවට පත් ජනතාවට බෙදා දීම සඳහා එම සෞඛ්‍ය උපකරණ තොගය යවා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ කොලරා රෝගයේ ව්‍යාප්තිය දරුණු තත්ත්වයක පවතින සැම්බියාවට පසුගිය 6 වැනිදා පළමු ආධාර තොගයත් 10 වැනිදා දෙවැනි ආධාර තොගයත් යැවීමට පියවර ගත් බවය. ආසන්න වශයෙන් ටොන් 3.5ක බරකින් යුතු දෙවැනි ආධාර තොගයට ජල පිරිසුදු කිරීමේ උපකරණ, ක්ලෝරින් පෙති සහ වෙනත් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඇතුළත් බව ද වාර්තා වේ. එම උපකරණ තොගය පසුගියදා සැම්බියාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් එරට රජය වෙත බාර කර ඇත. සැම්බියාවේ කොලරා වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා පසුගියදා යුරෝපා සංගමය ද යුරෝ මිලියනයක ආධාර තොගයක් යැවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය ජනවාරි 31 වැනිදා වන විට සැම්බියාවේ කොලරා රෝගීන් 16, 526 දෙනකු වාර්තා වී තිබූ අතර, මරණ ගණන 4% කින් ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ.