14
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මූල්‍ය දායකත්වය මඟින් රට පුරා මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යයට අයත් සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් සහභාගී කර ගත් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසීය.
මාධ්‍යවේදීන්ගේ දැනුම්වත්භාවය හා වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව පැවැත්වූ බව ද ඇමැතිවරයා පැවැසුවේය.
අමාත්‍යාංශ නිවේදන ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේ ද පැවැසුවේය.
“එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ප්‍රදානයක් ලෙස මෙම වැඩසටහන් මාලාව සංවිධානය කළා. එහි අරමුණ වනුයේ මාධ්‍යවේදීන්ගේ දැනුම්වත්භාවය හා වෘත්තීයභාවය ඉහළ නැංවීමට අමතරව සමාජ සහජීවනය වැඩි කිරීම, වෛරී ප්රකාශනවලට විරෝධය දැක්වීම, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම, සමාජයීය වගකීම මැනවින් අවබෝධ කරගත් මාධ්‍ය සම්ප්රදායක් ස්ථාපිත කිරීම, ආචාරධාර්මික වාර්තාකරණය සහ පෙළඹවීමක් ඇති කිරීම යනාදියයි. මේ වැඩසටහන යටතේ එකඟතාවන් ද ඇති කර ගැනීමට අපි කටයුතු කළා. ඒ අනුව අපරාධ වාර්තාකරණය, මිනීමැරුම්, හදිසි අනතුරු හා සියදිවි නසා ගැනීම්, වෛරී ප්‍රකාශන වාර්තාකරණය, පෞද්ගලික තොරතුරු වාර්තාකරණය, බාලවයස්කරුවන්, ලිංගික අපරාධ වින්දිතයන්, බේරුම්කරණ පුද්ගලයන් හා ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් පෞද්ගලික තොරතුරු වාර්තාකරණය, වෛරී ප්‍රකාශන වාර්තාකරණය යනාදිය ප්‍රධාන කර ගනිමින් ආචාරධාර්මික වාර්තාකරණයක් සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් බස්නාහිර, උතුරු මැද, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, නැඟෙනහිර පවත්වා තිබෙනවා. මාධ්‍යවේදීන් 377ක් මේ වැඩසටහන් සඳහා සහභාගී වී සිටිනවා. මේ වැඩසටහන් පැවැත්වීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සඳහා තනි පුද්ගලයෙක් නොවේ විශාල පිරිසක් සේවය කර තිබෙනවා. ආසියානු කලාපීය මාධ්‍ය උපදේශක ආචාර්ය රංග කලංසූරිය, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක මොහාන් සමරනායක, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ ජගත් ලියනාරච්චි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මධුභාෂිණී ගලගෙදර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්ය නයනී සුරවීර, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර පරණතන්ත්රි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මන්දනා ස්මයිල්, සහකාර ප්රවෘත්ති අධ්යක්ෂ හර්ෂ අබේකෝන්, විද්‍යුත් විශ්ලේෂක අසංග ජයසූරිය, තිනකරන් පුවත්පතේ සංස්කාරක සෙන්දිල් වෙලාර්වන් මහත්ම මහත්මීන් මේ වැඩසටහනේ විද්වත් මණ්ඩලයට ඇතුළත් වෙනවා.
උතුරු නැඟෙනහිර වැඩසටහන යාපනයේ හෝටල් පරිශ්රයක දී දින දෙකක් පවත්වා තිබෙනවා. එහිදී දිස්ත්‍රික් ලේකම් ශිව බාලසුන්දරම් මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය රාස්රාම් මහතා විශේෂ දේශනයන් සිදු කර තිබෙනවා. මෙම වැඩසටහනට දෙමළ මාධ්‍යවේදීන් 46ක් සහභාගීව තිබෙනවා. සියලුම දේශනවල දෙමළ පරිවර්තන ලබාදුන් අතර පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම් දෙමළ මාධ්‍යයෙන් කර තිබෙනවා. නැඟෙනහිර පළාතේ වැඩසටහන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආසන්න හෝටල් පරිශ්‍රයේ දෙමළ මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන් 46කට පවත්වා තිබෙනවා. දෙමළ පරිවර්තනයන් මෙහිදී ලබාදී තිබෙනවා. එමෙන්ම නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ භාෂා හා සන්නිවේදන අංශයන්හි ප්‍රධානී ආචාර්ය නවීන් රාජ් මහතා විශේෂ දේශනයක් සිදු කර තිබෙනවා. පළාත් වශයෙන් පැවැති වැඩසටහන්වලදී දෙමළ භාෂාව කතා කරන මාධ්‍යවේදීන් සඳහා දෙමළ පරිවර්තනයන් ලබාදී තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩසටහනේදී මධ්‍යම පළාතේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම 2023 ජනවාරි 19 වැනිදාත්, 2024 ජනවාරි 20 වැනිදාත් ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී පැවැත්වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහභාගී වූ අතර ඔවුන්ට දෙමළ පරිවර්තනයන් ලබාදීම සිදු කළා. ප්රවෘත්ති කාමර කාර්යමණ්ඩල ප්‍රධානීන් සඳහා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී වැඩසටහනක් පවත්වා නැවත දැනුම්වත් කිරීමකින් වැඩසටහන් අවසන් කළා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන වර්ගවල සමඟිය හා වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම වැඩසටහන් මාලාව සිදු කළා. මේ සඳහා සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල දැරුවා.”
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
“රජයේ මාධ්‍යවලට සම්බන්ධ මාධ්‍යවේදීන් පමණයි මේ වැඩසටහන්වලට සම්බන්ධ කරගෙන තිබෙන්නේ. පෞද්ගලික මාධ්‍යවලට ආරාධනා කර නැහැ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් කරනවා නම් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කාණ්ඩ දෙකම ගෙන්වන්න තිබුණා. යාපනයේ උදයන් පත්තරේ තමයි වැඩිපුරම අලෙවි වන්නේ. ඒ අය සම්බන්ධ කරගෙන නැහැ. බන්දුල ගුණවර්ධන මහතා කී ලැයිස්තුවේ ආණ්ඩුවට සම්බන්ධ නිලධාරීන් විතරයි ඉන්නේ. ඒක සාර්ථක නැහැ.”
ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
“ඒ ලැයිස්තුවෙන් ඉදිරිපත් කළේ සහභාගී වූ පිරිස නෙවෙයි. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවේදීන් දෙපිරිසම සහභාගී වුණා. දේශක නාමාවලිය තමයි මම ප්‍රකාශ කළේ. ඔවුන් තෝරාගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මඟින්. එක් එක් අංශවල ප්‍රධානීන් ඒ ලැයිස්තුවට අයිතියි. ඒ කියන්නේ පුවත්පත් මණ්ඩලයේ සභාපති, එතකොට පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා නිල වශයෙන් ඒ සඳහා රාජකාරියට පත්ව සිටින තැනැත්තෙක්. ආචාර්ය රංග කලංසූරිය වගේ කෙනෙක් ගත් විට ඔහු රජයේ ප්‍රකාශකයෙක් නෙවෙයි. ඔහු ආසියානු කලාපයේ මාධ්‍ය උපදේශකවරයා. ඊළඟට මොහාන් සමරනායක. කවුරුත් දන්නවා රටේ ප්‍රවීණ මාධ්‍ය විශේෂඥයෙක්. නීතිඥ සුදර්ශන ගුණවර්ධන දීර්ඝ කාලයක් සිවිල් ක්‍රියාකාරීන් සමඟ ක්‍රියා කළ මාධ්‍ය නිදහස ගැන කතා කරන නිලධාරියෙක්. වෘත්තීය නිපුණතාවෙන් යුක්ත අය ආණ්ඩුවේ සිටියා කියලා ඔවුන් සම්බන්ධ කර නොගෙන බෑනේ.”