12
ශ්‍රී ලංකාවේ දියුණුවට පත්වෙමින් ඇති ක්‍රීඩා ආර්ථිකය සවිබල ගැන්වීමේ අදහසින් නුවරඑළිය රාජකීය තුරඟ සමාජය සංවිධානය කරන ‘ක්‍රීඩා සංචාරක ධාවන දිනය’ හෙට (23) නුවරඑළිය තුරඟ තරග පිටියෙදී පැවැත්වෙයි. මෙදින තරග හතරක් සැලසුම් කර ඇති අතර, දවසේ ප්‍රධානතම තරගයට දෙස් විදෙස් තුරඟයින් රැසක් සහභාගීවීමට නියමිතය. සැණකෙළි ස්වරූපයෙන් සංවිධානයවන මෙය නුවරඑළිය තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් තුරඟ තරග සම්ප්රදාය ආරක්ෂා කිරීමේ වැඩසටහනක කොටසකි.
නුවරඑළිය රාජකීය තුරඟ සමාජයේ භාණ්ඩාගාරික නිසිත රූපසිංහ මහතා පැවසුවේ, මේ ක්‍රීඩා සංචාරක දිනය සංකල්පගත කළේ නුවරඑළියේ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට සහ තුරඟ තරග සම්ප්රදාය ආරක්ෂා කිරීමේ අරමුණින් බවය.
2016 වසරේ සිට නුවරඑළිය රාජකීය තුරඟ සමාජය තුරඟ තරග පිටිය නඩත්තු කරමින් ඊට අදාළ සියලු කටයුතු සොයා බලා ඇත්තේ නුවරඑළියේ ධාවන පථය ජාතික උරුමයක් ලෙස සංරක්ෂණය කරමිනි. නුවරඑළිය රාජකීය තුරග සමාජයේ ලේකම් සහ ප්‍රධාන විධායක රොයෝටා හකීරියා මහතා පවසන්නේ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය ගෝලීය වශයෙන් දියුණු වෙමින් පවතින වෙළඳපොළක් වෙමින් පවතිද්දී තුරග තරග ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට දායකත්වය සැපයීම තම සමාජයේ ප්‍රධාන අරමුණක් බවයි.
“අද තුරඟ තරගවලට කැමති රටවල් ඕනෑ තරම් තිබෙනවා. මගේ මව් රට වන ජපානයේ අශ්වාරෝහක පැදීම ඉහළම මට්ටමින් පවත්වනවා. එය ලෝකයේ විශාලතම ආදායම මර්ගයක්වී තිබෙනවා. අපි සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පැරණි ක්‍රීඩාවක් වන තුරඟ තරග සඳහා සහය දක්වන ලෙසත් උනන්දුවක් දක්වන අයට තුරඟ තරගවලට සහභාගි වන්න කියලයි” හකීරියා මහතා සඳහන් කළේය. මේ තරග ඉන්දීය ජාතික ආර්. මනුජිනාත් මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රින්ස් ගුණසේකර