15
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර, රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති අවසන් විස්සයි20 තරගයේ විනිසුරුට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග ඇතුළු විවිධ පාර්ශ්වවලින් ප්‍රබල චෝදනා එල්ල වෙයි. ශ්‍රී ලංකා විස්සයි20 නායකයා පෙන්වා දෙන්නේ එම විනිසුරුවරයා ජාත්‍යන්තර තරග විනිශ්චය සඳහා සුදුසු නොවන බවත්, ඔහු වෙන රැකියාවක් සොයා ගැනීම වඩාත් සුදුසු බවත්ය.
තරගයේ අවසන් ඕවරයේ 4 වැනි පන්දුවේදී කමිදු මෙන්ඩිස්ගේ ඉණට ඉහළින් යන ‘ෆුල්ටොස්’ පන්දුවක් විනිසුරු විසින් ‘නෝබෝල්’ පන්දුවක් ලෙස සංඥා නොකිරීම හේතුවෙන් ක්‍රීඩකයන් මෙන්ම තරග නරඹන්නන් ද විශාල කැළඹීමකට පත් වූහ. ක්‍රිකට් නීති පොත අනුව එලෙස උඩින් ‘ෆුල්ටොස්’ පන්දු යොමු කිරීම නිපන්දුවක් වුවද, ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ රවීන්ද්‍ර විමලසිරි හා ‘ලෙග් අම්පයර්’ ලින්ඩන් හැනිබල් විනිසුරු දෙපළම මුහුණට මුහුණ බලා නිහඬව සිටියහ. තරගයෙන් අනතුරුව පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී වනිඳු හසරංග පෙන්වා දෙන්නේ පිටියේ විනිසුරුවරයාට එම තීන්දුව ගතනොහැකි නම් තෙවැනි විනිසුරුට හෝ යොමු කළ යුතුව තිබූ බවයි. එම ‘නිපන්දුව’ විනිසුරු නම් කළේ නම් තරගයේ තීරණය සහ මුලින්ම වෙනස් වීමේ ඉඩකඩක් තිබූ බැවින් විනිසුරුවන්ගේ නිහඬතාව බොහෝ දෙනකුට ප්‍රශ්න සහගත වූවේය.
මේ අවසන් විස්සයි20 තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 3ක සියුම් ජයක් හිමි කර ගෙන අවමන් සහගත තරගාවලි පරාජයෙන් ගැලවී ගියේය. මෙවර සංචාරයේ පැවති ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගාවලි සියල්ලම ශ්‍රී ලංකාව ජය වාර්තා කරද්දී ඇෆ්ගනිස්තානය ලැබූ එකම තරග ජයග්‍රහණය පෙරේදා වාර්තා විය.
“ඒ වගේ දුර්වල අවස්ථාවක් ජාත්‍යන්තර තරගයක වෙන්න බෑ. ඒ පන්දුව ළගින් ගියා නම් කමක් නෑ. තව ටිකක් උඩින් ගියා නම් පිතිකරුගේ ඔළුවේ වදිනවා. මේ වගේ එකක් පේන්නේ නෑ කියන්නේ ඒ විනිසුරුවරයා ජාත්‍යන්තර තරගවලට හරියන්නේ නෑ කියන එකයි. එයා වෙන ජොබ් එකක් කළා නම් හොඳයි. කකුලෙන් යන නෝබෝල් එක රුපවාහිනියෙන් බලන්න පුළුවන් නම් තෙවැනි විනිසුරුට මේකත් බලන්න පුළුවන් වෙන්න ඕනේ. බැරි කමක් නෑ. පිටියේ විනිසුරුට තිබුණා තීරණය ගැන සැකයක් තිබුණා නම් තෙවැනි විනිසුරුට දාන්න. එහෙම කළෙත් නෑ. මා දන්නේ නෑ ඒ වේලාවේ විනිසුරුගේ ඔළුවේ වැඩ කළේ මොකක්ද කියලා” වනිඳු හසරංග පැවසීය.
“පහුගිය කාලේ නෝබෝල් එකක් පිළිබඳ නැවැත තෙවැනි විනිසුරුගෙන් විමසීම් කරන්න පුළුවන් කමක් තිබුණා. අයිසීසී එක ඒ නීතිය වෙනස් කරලා තියෙනවා. අපේ පිතිකරුවන් දෙදෙනාම ඒ වේලාවේ උත්සහ කළා නෝබෝල් තීරණය ගන්න. නමුත් ඒක වුණේ නෑ”
“අපිට තව හොඳින් පන්දු රකින්න පුළුවන් කණ්ඩායමක්. තරුණ ක්‍රීඩකයෝ ඉන්නේ. පන්දු රැකීම තව දියුණු කර ගත යුතුයි. අපි ඩෙත් ඕවර ටික හදා ගන්න ඕනේ. වයිඩ්වලින් අතිරේක ලකුණු 20ක් විතර ගියා. අන්තර්ජාතික තරගයකදී එහෙම වෙන්න බෑ. මම හිතනවා අපි තාම දියුණු වෙමින් සිටිනවා කියා. හොඳ තණතිල්ලක අපි ක්‍රීඩා කළේ. අතිරේක ලකුණු අඩු කරගත්තානම් තව ලකුණු 10ක් විතර නවත්ත ගන්න තිබුණා” වනිඳු සඳහන් කළේය.
“විශාල ලෙස නරඹන්නන් පැමිණීම ගැන ගොඩක් සතුටුයි. ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වූ අවසන් විස්සයි20 තරගාවලියයි මේ. ඒ නිසා කණ්ඩායමක් හැටියට අපට නරඹන්නන්ගේ සහයෝගය ඉතා වැදගත් වුණා. පල්ලෙකැලේදී එක්දින තරගාවලියටත්, දඹුල්ලේදී විස්සයි20 තරගාවලියටත් විශාල ධෛර්යයක් ප්රේක්ෂකයන්ගෙන් ලැබුණා. ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ සහයෝගය. විස්සයි20 ලෝක කුසලානයට යද්දී අපිට තරගාවලි 3යි තියෙන්නේ. ලෝක කුසලානය දිහා බලලා තමයි මේ කණ්ඩායම තෝරා ගත්තේ”
“කමිඳු මෙන්ඩිස් ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒකයි අපි ඔහු වගේ ක්‍රීඩකයෙක් සංචිතයේ තියාගෙන ඉන්නේ. ඔහුට අවස්ථාව ලැබුණ ගමන් මොකක්ද කරන්න පුළුවන් කියලා ඔහු පෙන්නුවා. කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරේ තරගයක් ඇති වෙනවා. නායකයෙක් ලෙස මම බලන්නේ ඒ දේ. පැතුම් නිශ්ශංක එක්දින තරග 3ක් ක්‍රීඩා කරලා ඔහුට විවේකය අඩුයි. දවස් 12ක් ඇතුළත තරග 6ක් ක්‍රීඩා කළා. පන්දු රකිද්දී ඔහු ගොඩක් දිව්වා. ඒක ගොඩක් බලපාන්න ඇති. තරගයක් ක්‍රීඩා කරලා පැය 24කින් තවත් තරගයක් ක්‍රීඩා කළාම අමාරුයි. විවේකයක් අවශයයි. ඔහුගේ පාදයේ ආබාධය ඉක්මණින් සුව වෙයි”
“මම උඩින් බැට් කරන්න ආවේ කණ්ඩායමට යමක් කරන්නයි. පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් උපරිම දේ කරන්න බලනවා. පිතිකරුවන් 8ක් එක්ක අපි සෙල්ලම් කරන්නේ. මා අංක 8ට ආවොත් පිතිකරණ අංශයෙන් යමක් කරන්න අමාරුයි. ඉක්මණින් ලකුණු ගන්න අවශ්‍ය නිසා පිතිකරණ පුහුණුකරු හා ප්‍රධාන පුහුණුකරු සමඟ කතා කරලා තීරණය කළා උඩින් එන්න”
“මතීෂ පතිරණ මේ තරගාවලියේ හා ලීග් තරගාවලි ක්‍රීඩා කරලා හොඳ අත්දැකීම් අරන් ඉන්නවා. නායකයෙක් විදිහට මා බලාපොරොත්තු වෙන්නේ ඩෙත් ඕවර්ස්වල කඩුලු ගන්න පුළුවන් පන්දු යවන්නෙක්. මතීෂ පැයට කිලෝමීටර් 150ට වැඩි වේගයකින් පන්දු යවනවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්” වනිඳු හසරංග සඳහන් කළේය.
නායක වනිඳු හසරංග මේ විස්සයි20 තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, තරගයේ වීරයා ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් සම්මානයට පාත්‍ර විය.
ප්‍රින්ස් ගුණසේකර