Home Politics News Room : ජනතාව සවිබල ගැන්වීම ළඟදීම පටන් ගන්නවා -විපක්ෂ නායක සජිත්...

News Room : ජනතාව සවිබල ගැන්වීම ළඟදීම පටන් ගන්නවා -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2
0

දුප්පත් බව තුරන් කිරීම සඳහා නව වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති බවත් මුදල් පරිත්‍යාගයට පමණක් සීමා නොවී ප්‍රජාවගේ පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදන ආදි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සමගි ජන බලවේගය විසින් නව වැඩසටහනක් ආරම්භ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ දරිද්‍රතා රේඛාව හඳුනා ගැනීමටත් පෙර නිසා එය විද්‍යාත්මක නොවන අසාර්ථක වැඩසටහනක් බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් මුදල් බෙදා දීමෙන් ඔබ්බට ගිය ජීවනෝපාය ආදායම් ලබා දෙන වැඩසටහනක්, සවිබල ගැන්වීමේ වැඩසටහනකට මුලපිරිය යුතු අතර එය ජාතික වැඩපිළිවෙළක් බවට පත් කරන බවත් හෙතෙම පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ රටට ලබා දෙන විසඳුම් කිහිපයක් සම්බන්ධයෙන් රටත් ජනතාවත් සභාවත් දැනුම්වත් කරන බවත් මේ ක්‍රමවේද හරහා රට වැටී ඇති තැනින් ගොඩ ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බැංකු පද්ධතිය සුරකිමින් පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කර ව්‍යාපාරිකයන් බේරා ගන්නා බවද විපක්ෂ නායකවරයා පැවසීය. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දිගින් දිගටම කතා කරන විට ආණ්ඩුවේ සමහරු හිනා වුණා. ආණ්ඩුව පමා වෙන හැම මොහොතක් පාසා ව්‍යාපාර වැසී යනවා.

රජයේ සංඛ්‍යාලේඛන අනුව ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 59,100ක් තාවකාලිකවත් තවත් ව්‍යාපාර 204,100ක් ස්ථිරව වැසී ගොස් ඇති බවත් කාන්තා ව්‍යවසායකයින් සතු ව්‍යාපාර 10,700ක් ද 27,600ක් ස්ථිරව වැසී ගොස් ඇති බවත් 2018 වසරට සාපේක්ෂ 2023 වසර වන විට මධ්‍ය පරිමාණ ව්‍යාපාර 48.3%ක් වැසී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව මේ අවස්ථාවේ සිදු කරන්නේ දේශපාලන උප්පරවැට්ටියක් වුවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම ව්‍යාපාරිකයන් නැවතත් හිස ඔසවන තෙක් සීමාසහිත කාලයක් තුළ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් බැංකු පද්ධතිය සුරක්ෂිත කිරිමට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ආධාර ලබා ගෙන බැංකු පද්ධතිය ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here