Home World News Room : ඉන්දීය ඩිජිටල් ගෙවුම් ජාලය රටවල් 20ක ව්‍යාප්ත වෙයි

News Room : ඉන්දීය ඩිජිටල් ගෙවුම් ජාලය රටවල් 20ක ව්‍යාප්ත වෙයි

1
0

මීට වසර අටකට පෙර ඉන්දියාවේ බැංකු පද්ධතියට හඳුන්වා දුන් ඒකාබද්ධ ගෙවීම් මුහුණුවර (UPI) මේ වන විට ලොව පුරා රටවල් 20ක ව්‍යාප්ත වී ඇතැයි ද, එය විදෙස් රටවල ඉන්දීය සංචාරකයන්ට අවශ්‍යතා සඳහා පහසු ගෙවීම් ක්‍රමයක් බවට පත් වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය ජාතික ගෙවීම් මධ්‍යස්ථානය විසින් ආරම්භ කළ එම ක්ෂණික ගෙවීම් පද්ධතියට අනුව සිල්ලර භාණ්ඩවල සිට ඕනෑම උපකරණයක් හෝ සේවාවක් ලබා ගැනීම සඳහා ඉන්දීය මුදලින් ගෙවීම් සිදුකිරීමේ හැකියාව පවතින බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ ක්ෂ්ණික ගෙවීම් ක්‍රමවේදය මූල්‍ය ආර්ථිකය ඩිජිටල් ආර්ථිකය දක්වා පරිවර්තනය කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ලෙස ඉන්දීය ආර්ථික විද්‍යාඥයන්ගේ ඇගැයිමට ලක් වී ඇතැයි ද වාර්තා වේ.

ඒකාබද්ධ ගෙවීම් මුහුණුවර යෙදවුම සිය ජංගම දුරකතනයට ඇතුළත් කිරීමෙන් පසු අදාළ පුද්ගලයාට රහසිගත හඳුනා ගැනීමේ අංකයක් ලැබෙන අතර, එමගින් ඔහු සතු සියලු බැංකු ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ලැබේ. අනතුරුව එම ක්‍රමවේදයට අනුමැතිය ලැබූ යම්කිසි ආයතනයකින් භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමේදී පාරිභෝගිකයාට සිය ගෙවීම් සිදු කිරීම සඳහා QR කේතයක් ලැබෙන අතර, එය සිය යෙදවුම තුළින් ස්කෑන් කිරීමෙන් පසු අදාළ ගෙවීම එම ආයතනය වෙත ‘ඔන්ලයින්‘ මාර්ගයෙන් සිදු කෙරේ.

මේ වනවිට එම ගෙවීමේ පහසුව බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය වැනි යුරෝපා රටවල ද, ශ්‍රී ලංකාව, මොරිෂස්, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, පිලිපීනය, වියට්නාමය, සිංගප්පූරුව, කාම්බෝජය, දකුණු කොරියාව, ජපානය, තායිවානය, හොංකොං නේපාලය සහ භූතානය වැනි ආසියාතික රටවල ද ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වේ.

වසර 2022 නොවැම්බරය වන විට එම යෙදවුම ඉන්දියාවේ මිලියන 300කට අධික පිරිසක් මාසික සක්‍රීය පරිශීලකයන් බවට පත් වී ඇති අතර, එම වසරේදී සෑම තත්ත්පරයකදීම 2,348ක ගෙවීම් ප්‍රමාණයක් යූපීඅයි යෙදවුම හරහා සිදු කර ඇතැයි එරට දත්ත වාර්තා මගින් හෙළි වී තිබේ. පසුගිය වසරේ ජූලි මාසයේදී බිලියන 9.9ක ගෙවීම් ද, අගෝස්තුවේදී බිලියන 10.5ක ගෙවීම් ද යූපීඅයි යෙදවුම හරහා සිදු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. 2023 මූල්‍ය වර්ෂයේදී යූපීඅයි යෙදවුම ඔස්සේ සිදු කර ඇති වාර්ෂික ගනුදෙනුවල වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක් බවත්, ඉන් ඩොලර් බිලියන 380ක් වෙළෙඳ ගෙවීම් බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here