ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යූහගතකරණය නොකළ හොත් එම සමාගමේ සේවකයන් 6,000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත්, ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අදාළ කටයුතු සිදු කිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව ඒ කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය:
“මීට දශක ගණනාවකට පෙර ජාතික ගුවන් සේවාවක් ලෙස ආරම්භ වූ ශ්‍රී ලංකන් ගුවන් සේවාව අපටම ආවේණික වූ ගුවන් සේවාවක්. එමිරේට්ස් ගුවන් සේවාව විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාලනය කරන සමයේ රුපියල් මිලියන 30ක ලාභයක් ගැනීමට එය සමත් වුණා. ඒ හැරෙන්නට කිසිදු ලාභයක් උපයාගැනීමට මෙතක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී නැහැ. කිසි දිනෙක ගුවන් යානයක් දැක නැති, ගුවන් යානයකට පය තබාවත් නැති පුද්ගලයාගේ සිට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් තමයි මේ ගුවන් සේවය නඩත්තු වන්නේ. අපටම කියා ජාතික ගුවන් සේවාවක් තිබෙනවා කියන අභිමානයක් තිබෙනවා. නමුත් එම අභිමානයට ගෙවන මුදල සාධාරණ ද කියන ප්රශ්නය අද මතු වෙනවා. අද වන විට ශ්‍රි ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් ණය වී තිබෙනවා. ජාත්‍යන්තර බැඳුම්කරවලට, කල්බදු ක්‍රමයට ගත් ගුවන් යානා වෙනුවෙන්, දේශීය රාජ්‍ය බැංකු ඇතුළු ආයතන කිහිපයකට එම හිඟ මුදල් ගෙවන්න සිදුව තිබෙනවා. ඒ වගේම මුදල් ගෙවන්නේ නොමැතිව ලබාගත් ඉන්ධනවලටත් මුදල් ගෙවන්න වෙලා තිබෙනවා. මේ විදිහට ණය වෙලා ගුවන් සේවාවක් ඉදිරියට පවත්වාගෙන යන්න බැහැ.
රටේ ඇති වූ විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික ගැටලුව නිසා වෙනදා වගේ අලාභ ලබන අවස්ථාවලදී මුදල් ලබා දෙන්න රජයට හැකියාවක් නැහැ. එලෙස ලබාදීම සාධාරණත් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගතකරණය කරන්න තීරණය කළේ ඒ නිසයි. රජය යටතේ 51%ක කොටස් තබාගෙන තමයි එම ප්‍රතිව්‍යූහගතකරණය සිදු කරන්නේ. 49%ක් වෙනත් ආයෝජකයකුට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ යෝජනාව මීට මාස හයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් ගොඩබිම් මෙහෙයුම්වලින් සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් නම් යම් ලාභයක් ලබනවා. නමුත් එය ගුවන් සේවයේ අලාභය පියවා ගැනීමට ප්‍රමාණවත් නැහැ.එනිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් වෙන් වෙන් වශයෙන් විකිණීමට අවශ්‍ය ද කියන කාරණයත්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සංදේශයත් සැලකිල්ලට ගෙන සකස් කළ යෝජනා මාලාව මුදල් අමාත්‍යාංශය හරහා අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන් වෙත යොමු කර තිබෙනවා. මෙමඟින් අපට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා විනිවිදභාවයකින් යුතුව අප කටයුතු කරනවා.
අඩුම තරමින් ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යූහගතකරණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනතුරුව සේවක අයිතිවාසිකම් අරක්ෂා වන ආකාරයට කොන්දේසි සහිතව අදාළ ආයෝජකයාට අප එය භාර දෙනවා. පසුව ඒ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කඩිනමින් මෙම කටයුත්ත සිදු නොවුණහොත් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතිනවා.“