Home Politics News Room : ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරන ඕනෑම...

News Room : ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරන ඕනෑම නායකයකුට සහාය දෙනවා -ඇමැති ප්‍රසන්න රණතුංග

3
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්මට්ටමින් සකස් කර ඇති යන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් එය බිඳවැට්ටවීමට කිසිවකුට හැකියාවක් නැති බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ආසන බල මණ්ඩල රැස්වීමට පෙරේදා (25) සහභාගී වෙමිනි.

තවදුරටත් ඇමතිවරයා මෙසේද පැවසීය.

ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකදී පක්ෂය නම් කරනු ලබන නායකයකුට සහාය ලබා දී රට හදන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සූදානම්.

එදා එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව කටයුතු කළා වගේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමා අරගලය වේලාවේ කටයුතු කළා නම් රටට විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වෙන්න තිබුණා. හැබැයි රට ගැන හිතල රටේ මිනිස්සු බේරපු නායකයෙක් විදියට තමන්ගේ තනතුරු අතහැර දැමීමට ඔහු කටයුතු කළා. අපි පක්ෂයක් විදිහට යම් පීඩාවකට පත් වුණා. අපි බලාපොරොත්තු නොවිච්ච දේවල්වලට මුහුණ දෙන්න වුණා.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් අපිට, අපේ පාක්ෂිකයන්ට හිරිහැර කළා. අරගලය හේතුවෙන් වැඩිම පීඩාවකට පත් වුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු. අපේ මන්ත්‍රීවරු සියලුම දෙනාගේ ගෙවල් ගිනි තිව්වා. මගේ ගේ 77ත් ගිනි තිබ්බා. මේ පාරත් ගිනි තිබ්බා. ඒ පොහොට්ටුව විනාශ කරල ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන හයිය වට්ටවන්නයි. පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බේ මොනවා කළාටද? කොව්ඩි වසංගත සමයේදී ගමේ මිනිස්සුන්ට කෑම ටික දුන්නේ, බඩු මලු ටික බෙදුවේ ඒ අයයි. ගෙවල් ගිනි තිබ්බේ සාමාන්‍ය මිනිස්සු නොවෙයි. කාලකණ්ණි ටිකක් සංවිධානාත්මකව එකතු වෙලා මේ වැඩේ කළේ. අද ඒ අය කෝ. අපි එළියට බැහැල වැඩ කරනවා. අපිට ගහපු, අපේ ගෙවල් ගිනි තියපු අය හැංගිලා. හොඳට මතක තියාගන්න කොකාට වාරයක් එනවා නම් තිත්තයාටත් වාරයක් එනවා.

අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ දේශපාලනය කරපු අය නොවෙයි. ඔහුට විරුද්ධව දේශපාලනය කරපු අය. රටේ සාමය හා නීතිය අස්ථාවර වන විට නීතිය සාමය ස්ථාපිත කරන්න පුළුවන් නායකයෙක් අපි හෙව්වේ. අපි හෙව්වේ රාජ්‍ය යන්ත්‍රණය පවත්වාගෙන යන්න පුළුවන් නායකයෙක්. අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් නායකයෙක්. අකැමති වුණත් රට ගැන හිතලා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න අපි තීරණය කළේ ඒකයි. මීට වසරකට පෙර රට තිබූ තත්ත්වය සහ අද රට තිබෙන තත්ත්වය ගැන බලන විට අපිට සතුටු වෙන්න පුළුවන් අපි ගත්ත තීන්දුව නිවැරදියි කියලා. අපි ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.

මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගත්ත පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. හාමුදුරුවෝ, විදුහල්පතිවරු ඝාතනය කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ රැල්ලක් දැන් නැහැ. එහි නායකයෝ මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න හදනවා. අනුර කුමාරට ඩීල් කුමාර කියන්නේ නිකං නොවෙයි.

යුද්ධය ඉවර කරලා රට හදපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරද්දන්නත් ඔවුන් කටයුතු කළා. අනුර කුමාරගේ පුතා වැඩ කළේ මිහින් ලංකා එකේ. මිහින් ලංකා එක වැහෙන කොට තමන්ගේ දරුවාව එයාර් ලංකා එකට දාගන්න අනුර කුමාර මහින්ද මහත්තය එක්ක ඩීල් දැම්මා. එහෙම නම් ඩීල් නොදාපු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන අනුර කුමාර කතා කරන්නෙ කොහොමද? මිනීමරු දේශපාලන පක්ෂයක නායකයෙක් බලයට ආවොත් තමන්ගේ බලය රැක ගන්න 88/89 යුගයට වඩා මිනිස්සු මරාවී. ඒ නිසා තමයි මේ රටේ බුද්ධිමත් මිනිස්සු එයාලා සියයට තුනේ සීමාවේ රඳවල තියෙන්නේ.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා – කොවිඩ් 19 වසංගතයත් සමඟ පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුද තත්ත්වය තුළ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ යම් යම් වැරැදි සිදු වුණා. එම වැරැදි නිවැරදි කර ගනිමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවේදය මේ වන විට ක්‍රියාත්මකයි. එම නිවැරැදි ගමන රටේ ජනතාව සමඟ ජයග්‍රාහීව ඉදිරියට යනවා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කුලකයේ සිට ලංකාවේ සමාජ, දේශපාලනය නිර්ධන පන්තිය සාමාන්‍ය ජනතාව අතට පත්කිරීමේ කතාන්දරය තමයි කැලණියේ තියෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහතා 1956 වසරේදී පරාජයට පත්වෙන්නේ ආර්.ජී. සේනානායක මහතාටයි. එතුමා ආසන දෙකකට තරග කළා. කැලණියටත් දඹදෙණියටත්. කැලණියට තරග කරන්නේ මගේ නොන්ඩි කකුල කියා කිවුවා. එතුමාට සුළු ආබාධ තත්ත්වයක් තිබුණා. එතුමා දිනුවා. ශ්‍රී ලංකාවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන ශ්‍රී ලංකාවේ ගාමක දේශපාලන බලය නිර්මාණය වෙන්නේ ඒ විදියටයි. අපේ තාත්තලා, සීයලා දේශපාලන ධාරාවේ සිට මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වඩාත් පරිවර්තනීය වෙනස කරන දේශපාලන ධාරාව බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව තිබෙනවා. මෑත කාලයේ ධජය අතට ගන්න මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම මේ රටේ තීරණාත්මක සහ විශාලතම දේශපාලන බලවේගය බවට පත්ව තිබෙනවා.

අපේ ආණ්ඩුව පිහිටුවා ටිකක් කල් යන විට අපේ රටේත් ලෝකයේත් ඇති වුණු අර්බුදයක් හේතුවෙන් අපහසුතාවයට පත්වුණා. කොවිඩ් සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කතා කළා. රට ආර්ථික වශයෙන් අර්බුදයට පත් වුණා. ඇතැම් තීන්දු ඒවාට බලපෑවා. අපෙන් යම් යම් වැරැදි වුණා. නමුත් වසර දෙකක දී කොරෝනාවලට මේ රටේ මිනිසුන්ට එන්නත දෙන්න බැහැ කියන විට ඒක දුන්නා. සියලුම රෝගීන් කඳවුරු වෙත රැගෙන ගොස් ආරක්ෂා කළා. ඒ අයගේ පවුල් වෙනුවෙන් රුපියල් 10000ක දීමනාවක් ලබා දුන්නා. තවත් මූල්‍යාධාර දී තිබෙනවා. ජනතාවට විශාල සේවාවක් කළා. ආර්ථික අර්බුදයෙන් අපි බැට කෑවා වගේම තවමත් නැඟිට ගන්න නොහැකිව ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි අලුත් ජනාධිපතිවරයා සමඟ අලුත් ගමනකට අවතීර්ණ වෙමින් රට ස්ථාවර කරමින් ඉන්නවා. පසුගිය වසරේ අර්බුදයත් සමඟ අපිට විශාල කම්පනයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල විශාල පිරිසක් එයින් බැට කෑවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

මහින්ද අලුත්ගෙදර, උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here