අගමැති දිනේෂ් ගුණවර්ධන
අස්වැසුම වැඩසටහන සඳහා අඩු අාදායම්ලාභීන් තෝරා ගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බවත්, අඩු ආදායම්ලාභී සහ විවිධ රෝගවලට ගොදුරු වූ අය කිසිලෙසකින් ඉවත් නොකරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) අවධාරණය කළේය.
අස්වැසුම වැඩසටහන සඳහා අඩු අාදායම්ලාභීන් තෝරා ගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩු සිදු වී ඇතැයි මන්ත්‍රීවරු කිහිපදෙනෙකු කළ ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
IMF ගිවිසුමෙත් අඩු ආදායම්ලාභීන්ගේ ආරක්ෂාවට මෙම සුබසාධන වැඩසටහන අන්තර්ගත කර තිබෙනවා. එය පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව ප්‍රතිඥාවක් දී තිබෙනවා.
පෙරට වඩා වැඩි අඩු ආදායම්ලාභීන් සංඛ්‍යාවකට ප්රතිලාභ ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි. අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන් වී නැහැ.
දැන් මේ ප්‍රශ්නයක්. ජගත් කුමාර මන්ත්‍රීවරයා විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනකුත් නඟපු, මේ අඩු ආදායම්ලාභීන්ගේ අස්වැසුම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වූ සමීක්ෂණයේ අඩුපාඩුකම් ගැන කිය වුණා. පසුගිය මාස කීපය තුළ මේ සමීක්ෂණය ක්‍රියාත්මක වුණා. ඒ අවස්ථාවේදීත් යම් යම් නිලධාරීන් ඒකට සහභාගී නොවීම නිසා අතිරේක විශේෂ තරුණ සුදුසුකම්ලාභීන් ස්වේච්ඡා සේවයට ගැනීමටද සිදු වුණා. ඒ අනුව සුබසාධක මණ්ඩලය ඒ අභියෝගයේ පළමුවැනි වටය අපේ රාජ්‍ය නිලධාරීන් සමඟ රට පුරා ඉටු කරලා තිබෙනවා.
පසුගිය අය වැය ලේඛනයෙන් අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරන ලද IMF ගිවිසුමෙත් අඩු ආදායම්ලාභීන්ගේ ආරක්ෂාවට මේ සුබසාධන වැඩසටහන අන්තර්ගත කර තිබෙනවා. ඒ වගේම එය පුළුල් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව ප්‍රතිඥාවක් දීලා තියෙනවා. අඩුපාඩුකම් සමීක්ෂණයේ තියෙනවා නම්, එය පෝසතුන්ට ලැබිලා තියෙනවා කියනවා නම්, පෝසතුන්ට කොහොමත් ලැබෙන්න බෑනේ. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් නෙවේ.
අඩු ආදායම්ලාභි සහ විවිධ රෝගවලට ගොදුරු වෙච්ච අය කිසිලෙසකින් අයින්කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ කටයුත්තේ අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය තාම ක්‍රියාත්මකයි. එයට සහභාගී වන්න කියලා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, එය දැනුම් දෙන ලෙසත් මෙමඟින් අඩු ආදායම්ලාභීන්ට අවස්ථාව සැලසීම රජයේ බලාපොරොත්තුවයි.
අස්වැසුම සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන දේශපාලනීකරණය කරන්න කිසිදු ඉඩක් දෙන්නේ නෑ
වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ
අස්වැසුම සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන දේශපාලනීකරණය කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී “අස්වැසුම” ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය සැකසීමේ දී දේශපාලන මැදිහත් වීමක් සිදුව ඇති බවට සිදු කෙරුණු ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.
වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය සැකසීමේ දී දේශපාලන මැදිහත් වීමක් සිදුව ඇති බවට තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඊට සම්බන්ධ කරුණු සොයා බලා කටයුතු කිරීමට සෑම පියවරක්ම ගන්නවා.
අස්වැසුම ප්රතිලාභ සඳහා දැනට තෝරාගෙන ඇති පිරිසගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීම 20 වැනි දා සිදු කළා. ඒ අනුව 20 වැනි දා සිට 30 වැනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.
එමෙන්ම නාම ලේඛනයේ ඇතුළත් නම් සඳහා විරෝධතා තිබේ නම් පැමිණිලි කිරීමේ හැකියාවද ලබා දී ඇති අතර අභියාචනා මෙන්ම පැමිණිලි ද විභාග කරනවා.
මෙම සමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිලාභය ලබා දීම ආරම්භයේ සිට මේ දක්වා වසර 20ක් පුරාවටම කිසිදු විනිවිදභාවයකින් තොරව සිදු කරගෙන ගිය වැඩපිළිවෙළ අපි ඉතාම අපහසුවෙන් නවතා දැමුවා. ඒ අනුව, අත්‍යවශ්‍යයෙන්ම ප්රතිලාභ ලැබිය යුතුම පාර්ශ්වයන් හඳුනාගෙන ඔවුන්ට අස්වැසුම ලබා දීමට අපි විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් දැන් සකසා තිබෙනවා. කිසිදු ආකාරයකින් පක්ෂග්රාහීව මෙම නාම ලේඛනය සැකසීමේ හැකියාවක් කිසිදු පාර්ශ්වයකට නැති බව අවධාරණය කරනවා.
කථානායකතුමනි, අද උදේ අස්වැසුම වැඩසටහන පිළිබඳව කතා බහක් පාර්ලිමේන්තුවේදී ඇතිව තිබෙනවා. මම අද උදේ කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගි වුණා. පාර්ලිමේන්තුවේ සිටියේ නැත්තේ ඒ නිසයි. ඒ වගේම අස්වැසුම වැඩසටහන ආරම්භ කළේ මේ රටේ දුප්පත්ම ජන කොට්ඨාසය තෝරාගෙන ඔවුන්ට ආණ්ඩුව ලබා දෙන සුභසාධන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් ලෙස ආරම්භ කිරීමටයි. මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුව තුළ මෙන්ම විවිධ කමිටු තුළත් වාද විවාද කළා. ඒ වගේම කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා, දැනට ප්රතිලාභ දීමනා ලබන පවුල් හා පුද්ගලයන්ගෙන් සියයට තිහකට වඩා වැඩි පිරිසක් නුසුදුස්සන් බවට. ඒ නිසා සුදුසු අයට ලැබෙන්නේ නැහැ. නුසුදුසු අයට ලැබෙනවා කියලා. ඒ අනුව අපි මීට සති දෙකකට පෙර මීට අදාළ රෙගුලාසි දීර්ඝ ලෙස විවාද කිරීමෙන් පසුව මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තා.
ඒ අනුව මෙම නාමලේඛනය ප්‍රසිද්ධ කිරීම 20 වැනිදා ආරම්භ කළා. ඒ අනුව 20 වැනි දා සිට මේ මස 30 වැනිදා දක්වා අභියාචනා කරන්නට තිබෙනවා නම් එය ඉල්ලුම් කිරිමේ හැකියාව ලැබෙනවා වගේම නුසුදුසු කෙනෙක් තේරි සිටින බවට පැමිණිල්ලක් තිබෙනවා නම් එවන් පැමිණිලි ප්‍රාදේශීය ලේකම්ට භාර දීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව එම අභියාචනා හා පැමිණිලි ලැබෙන පිළිවෙළ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් කමිටු පත් කර ලැබෙන පැමිණිලි හා අභියාචනා විමර්ශනය කරනවා. ඉන් පසුව ඔහු හෝ ඇය ඇතුළත් විය යුතුද, ඉවත් විය යුතුද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරනවා.
ඒ වගේම කිසිම අභියාචනයකට හෝ පැමිණිල්ලකට ලක් නොවන කණ්ඩායම්වලට ජූලි මාසය වන විට මෙම දීමනාව ලබාදීමට කටයුතු කරනවා. ඒවගේම මෙතන ඇති වූ තවත් කාරණයක් තමයි අද නාමලේඛනය ප්‍රසිද්ධ කර තිබෙන්නේ පවුල් ලෙස ගන්නා අයයි. තනි පුද්ගලයන් ලෙස මෙම ප්රතිලාභ ලබන වකුගඩු රෝගීන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිතයන් වැනි අයගේ නාම ලේඛනය ලබන සතියේදී ප්‍රදර්ශනය කරනවා. දැනට ප්‍රදර්ශනය කර තිබෙන නාම ලේඛනය අවසාන නාම ලේඛනය නොවෙයි. මේ අභියාචනා සහ පැමිණිලිවලට ඉඩ ලබාදීම සඳහායි නාම ලේඛනය ප්‍රදර්ශනය කර තිබෙන්නේ. ඒ වගේම ජූලි මාසයේදී පළමු වාරිකයෙන් පසුව අගෝස්තු මාසයේදි ඊළඟ වසර සඳහා අයැදුම්පත් කැඳවීමත් සිදු කරනවා.
සුදුසුම දුප්පතුන් තෝරා ගෙන මෙම ප්‍රතිලාභය ලබාදීම අපගේ උපරිම උත්සාහයයි. සුභසාධන ප්රතිලාභ ලබාදීමේදී සියයට 30 කට වැඩි නුසුදුසු පිරිසක් ප්රතිලාභ ලබා ගැනීම තුළ සැබැවින්ම දුප්පත් අයට බරපතළ අසාධාරණයක්ද සිදු වුණා. ඒ නිසා දීර්ඝ කාලයක් නිවැරදි නොවුණු ක්‍රියාවලිය තමයි අද ආණ්ඩුව හා විපක්ෂය මේ සිදු කරමින් තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා, පළමු වසරේදී මෙය සියයට අසූවක්වත් නිවැරදි වෙයි. මෙය නිවැරදි වීම ලබන වසර වනවිට සියයට සියයක්ම නිවැරදි වෙයි.
අස්වැසුම ගැන දිනක විවාදයක් ලබා දෙන්න
මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර
අස්වැසුම අඩු ආදායම්ලාභි සහනාධාර වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනක විවාදයක් ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ඉල්ලා සිටියේය.
අස්වැසුම විශාල ප්‍රශ්නයක් බවට රට හැම තැනම පත්වී තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලන්න.
රජයේ පමණක් නොව පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් පහසුකම සලසාදීම ඉතා වැදගත්
අගමැති
රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන අන්දමින් පහසුකම් සලසාදීම ඉතා වැදගත් බවත්, තමා අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදී එම අවස්ථා වැඩි කිරීමට පියවර ගත් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.
උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොලී රහිත ණය යෝජනා ක්රමයේ 2021/2022 කණ්ඩායම සඳහා ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් වී නොමැති බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ඒ සම්බන්ධයෙන් වන ණය ක්රමයේ දැනට මතුව ඇති මූල්‍ය ගැටලු විසඳීමට ආණ්ඩුව කටයුතු කරනවා.
විපක්ෂ නායකවරයා සඳහන් කරපු කාරණය සම්බන්ධව අධ්‍යාපන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කලින් ද පැහැදිලි කළා. මේ පිළිබඳ ඇමැති මණ්ඩලයේ අවධානයට අධ්‍යාපන ඇමැතිවරයා විසින් ගෙනල්ලා මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගත යුතු ක්‍රියා මාර්ගය දැනට සාකච්ඡා කරලා ක්‍රියාත්මක වෙනවා.
මම අධ්‍යාපන ඇමැතිවරයා කාලයේ මම සිහිපත් කරන්න කැමතියි, පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවකට මේ පහසුකම දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයගේ කාලයේ එවැනි ප්‍රමාණයන් වැඩි කිරීමට පියවර ගත්තා.
අපේ ගුවන් යානා 80කට ගුවන් නියමුවන් නැහැ
මන්ත්‍රී දයාසිරි ජයසේකර
ගුවන් යාන 80කට ගුවන් නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.
එයාර් ලංකා ආයතනය ගැන විෂය භාර ඇමැතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ජුනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ගුවන් යානා 13ක ගුවන් ගමන් නතර වී තිබෙනවා. සැබෑ තත්ත්වය වසන් කරමින් ඇමැතිවරයා එයාර් ලංකා ආයතනය විකිණීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් සිටිනවා.
මේ ගුවන් යානා 13ට අදාළ මිනිස්සු වටේ හෝටල්වල රඳවල ඉන්නේ. ඒ සඳහා යන වියදම කොපමණ මිලියන ගාණක් ද දන්නේ නැහැ. කොවිඩ් කාලේ මේ ගුවන් නියමුවන් සියයට 50ක් සම්පූර්ණ වැඩ කළා. කොවිඩ් කාලේ ගුවන් යානා බාලා තිබුණට ඒ අය වැඩ කළා. ඒ කාරණා වසන් කරලා තමයි ඇමැතිවරයා කටයුතු කරන්නේ. මෙය විකුණන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලයි තිබෙන්නේ. මේක වට්ටන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මගීන් අරන් යන බස් රථවලට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒ මිනිස්සු පාර දිගේ බෑග් ඇදගෙන යනවා. මේවා කරලා කොහොම හරි මෙය විකුණන්නයි හදන්නේ.
අස්වැසුම අඩු ආදායම්ලාභි සහනාධාර වැඩසටහන ගැන කළ සමීක්ෂණය වැරැදියි
මන්ත්‍රී වීරසුමන වීරසිංහ
අස්වැසුම අඩු ආදායම්ලාභි සහනාධාර වැඩසටහන සම්බන්ධයෙන් කළ සමීක්ෂණය සම්පූර්ණයෙන් වැරැදි බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවැසීය.
තවදුරටත් මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.
ඇතැම් නිලධාරීන් දිනකට 60-70ව සමීක්ෂණය කළා. එය නැවත සමීක්ෂණය කළ යුතුයි. ඒ වගේම තෝරාගත් නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කරන ලෙසත්, විරෝධය දැක්වීමට කාලය ලබා දෙන ලෙසත්, නිවැරැදි පුද්ගලයන්ට එය ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය කලබලේ සිදු කළ සමීක්ෂණයක් හෙයින් ඉන් ගැටලු රැසක් මතු වෙනවා.
මේ ගැටලුව සම්බන්ධයෙන් කථානායකවරයා නියෝජනය කරන වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාව වට කළා. මෙය ඉතාමත් තීරණාත්මක ප්‍රශ්නයක්.