නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ගැටුම් පැවති සමයේදී දැඩි ලෙස හානියට පත්වූ අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අම්පාර දිස්ත්‍රික්කය බිම්බෝම්බවලින් තොර භූමියක් ලෙස සනාථ කර ගැනීමෙන් පසු ගම්මානවල ජනතාව නැවත පදිංචි කිරීමට පියවර ගත් බව ඇමැතිවරයා පවසයි.
විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා යුද හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ සහයෝගය ගනිමින් වළදමා තිබූ බිම්බෝම්බ ඉවත් කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කය යුද සමයේදී දැඩි ලෙස හානියට පත්වූ දිස්ත්‍රික්කයකි. එම දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගවේලායුදපුරම්, කන්චිකුයාරු, කාන්චිරම්කුඩා, සාගාමම් ගම්මාන හතරේ නිවාස 343ක් ඉදිකර අවසන් කර තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම තවත් නිවාස 72ක් ඉදිකිරීමට නියමිතය. නැවත පදිංචි කිරීම් කරනු ලබන ප්‍රතිලාභීන් සඳහා තාවකාලික නිවාස හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සඳහා රුපියල් 38000 මූල්‍යාධාරයක් ලබාදී තිබේ.
නිවාස ලබාදීමේ නිර්ණායක සකස් කර දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලබාගෙන එම නිවාස දුන් බවද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. එමෙන්ම ස්ථීර නිවාස ඉදිකර දී පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක කටයුතු ඇතුළු අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම හා ජීවනෝපාය වැඩසටහන්වලට යොමුකර ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටද රජය කටයුතු කර තිබේ.
ප්‍රතිලාභී පවුල් 71ක් සඳහා පානීය ජලය දී ඇති අතර, ප්‍රදේශයේ පොදු ළිං 93ක් ද ඉදිකර තිබේ. එමෙන්ම බොරළු යොදා මාර්ග සකස් කර තිබේ. ඊට අමතරව වියළි කාලගුණය සහිත කාලයන්හිදී පානීය ජලය බවුසර් මඟින් ප්‍රතිලාභීන් වෙත ලබාදීමටද කටයුතු කර තිබේ. ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වන අලින්ගෙන් ගම්මාන ආරක්ෂා කර ගැනීම සඳහා කිලෝමීටර 38ක් දිග අලි වැටක්ද සකස් කර ඇති බවයි.
උපාලි කරුණාරත්න