කොරියාවේ පැවැත්වෙන ජම්බෝරිය සඳහා බාලදක්ෂයන් සහභාගි කිරීමට ඉල්ලමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් කළ ඉල්ලීමට මේ වන තෙක් කිසිඳු අනුමැතියක් ලබා දී නැතැයි අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවැසීය.
බාලදක්ෂ ජම්බෝරිය සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
එම සංගමය ඊට අනුමැතිය ඉල්ලමින් මීට මාසයකට පමණ පෙර අයදුම් පත්‍රයක් එවා තිබුණා. එහි තිබූ අඩුපාඩු සකස් කර නැවත එවන ලෙස දන්වා යැව්වා.
මෙවැනි ජම්බෝරි ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් පැවැත් වෙනවා. ඒ සඳහා දරුවන් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ එම සංගමය මඟින්.
මේ සඳහා රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල දරුවන් සහභාගි වෙනවා. එහෙත් රජයේ පාසල්වල දරුවන්ට උහුලන්න බැරි ආකාරයෙන් බර නොදිය යුතුයි.
සෑම වසරකම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මෙවැනි ජම්බෝරි තිබෙනවා. ඒවට යන දරුවන් තෝරා ගැනීම සහ එම කටයුතු කරන්නේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන්.
මේ සඳහා දරුවන් 174ක් තෝරාගෙන තිබෙනවා.මෙම අවස්ථාවට විවිධ ආකාරයේ පාසල්වලින්. ජාත්‍යන්තර, පෞද්ගලික සහ රජයේ පාසල්වල දරුවොත් යනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන්නේ මේ සඳහා අනුමැතිය ලබා ගැනීම පමණයි.