අල්ලස සහ දූෂණය අද, ඊයේ සිට නොව රජ කාලයේ සිට තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවැසීය.
දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන් කෙළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
ඒ කාලේ තිබුණේ ලිංගික අල්ලස්. 1977න් පසු සියයට 03න් අල්ලස් ගැනීම පටන් ගෙන අද වන විට සිතා ගත නොහැකි විදියට අල්ලස් ගන්නවා. මෙම පනත ඉතා හොඳයි. ඉදිරියේ දී ඊට සංශෝධන එකතු කරමින් සාර්ථක පනතක් බවට පත්කළ යුතුයි.
රජ කාලෙන් පස්සේ, 1977 වෙද්දි සියයට 3ක් අල්ලස් ගත්තා කියලා අපි අහලා තිබෙනවා. සමහරු පිට රටින් ගෙවල් ගත්තා. වතු ගත්තා කියනවා. මම ඒ ගැන කියන්නේ නැහැ. ඒ අය අද ජීවතුන් අතර නැති නිසා. ඊට පස්සේ ක්‍රමක් ක්‍රමයෙන් සියයට 5 වුණා. ඊට පස්සේ සියයට 10 වුණා. ඊට පස්සේ වුණ ගාණ මම දන්නේ. පවතින මැතිවරණ ක්‍රමය තුළ තමයි අල්ලස ගන්න පෙළඹිලා තිබෙන්නේ. මේ දේශපාලනය බිස්නස් එකක් වෙලා. මේක ඒ පැත්තෙන් මේ පැත්තටත්, මේ පැත්තෙන් ඒ පැත්තට ගියත් එහෙමයි. යහපාලන ආණ්ඩුව කිව්වේ මොකක්ද, හොරකම් සියල්ලම අල්ලනවා කියලා. ඒකට ඔක්කොම එකතු වුණා. වෙනම පොලිසියකුත් දැම්මා. හිටපු රාජ්‍ය නායකයන් පවා මේකට ගෙන්වා ගත්තා. අරලියගහ මන්දිරයේ ඔෆිස් එකක් පවා දැම්මා. එකෙක් ඇල්ලුවේ නැහැ. ඒක බොරු පුස්සක් බවට පත් වුණා. මේක කවුරු ආවත් අල්ලන්නේ නැහැ. අධිකරණ ඇමැතිවරයාට ස්තූතිවන්ත වෙනවා, කොහෙන් හරි පටන් ගැනීම ගැන. ගේනවයි කියපු කිසිම කෙනෙක් ගෙනාවේ නැහැ. අණ පනත් දාල හරි මෙය ක්‍රියාත්මක කළ යුතුයි. පිට රටවල්වල පවා අල්ලස් ගන්නවා. පිට රටවල්වල ගන්නේ සියයට 3යි. අපේ රටේ සියයට 10න් පටන් ගන්නේ. එකෙන් අපේ දරුවන්ට තමයි රටක් නැති වෙන්නේ. ආපස්සට බලපාන විදියට නීතිය ගේන්න පුළුවන්නම් හොඳයි.