Home Politics News Room : පොහොට්ටුව කිසි දිනෙක රටට සතුරු වන්නේ නෑ – ඇමැති...

News Room : පොහොට්ටුව කිසි දිනෙක රටට සතුරු වන්නේ නෑ – ඇමැති ප්‍රසන්න රණතුංග

3
0

රටට සතුරු, විනාශකාරී මාවතක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක ගමන් නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව අවධාරණය කළේ පෙරේදා (17) උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් අපේ පක්ෂයට නෑ. එනිසා විපක්ෂ මවන බොරු බිල්ලන්ට බිය නොවී ආර්ථිකය ස්ථාවර කර රට දියුණු කිරීමට වර්තමාන රජයට සහාය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විපක්ෂය මැතිවරණයක් ඉල්ලලා කෑ ගහනවා. ඡන්දය දුන්නේ නැත්නම් කොළඹ වටලනවා කිව්වා. මම ටී. වී. එකේ දැක්කා, බොහොම සුළු පිරිසක් තමයි ඇවිල්ලා හිටියේ. මම හිතන්නේ ඒක ඔවුන් විනෝදෙට කරන දෙයක්. ඡන්දය ඉල්ලලා වැඩියෙන්ම කෑ ගහන්නේ සියයට තුනේ රතු සහෝදරයෝ ටික. ඔවුන්ගේ ඉතිහාසය බලන්න. මේ දෙගොල්ලටම මහ පොළොවේ දේශපාලන යථාර්ථය තේරෙන්නේ නෑ. සෙනඟ දැක්ක ගමන් දෙගොල්ලම චූං වෙනවා. ප්‍රායෝගික දේශපාලනය මීඩියා ඉස්සරහ ෂෝ දානවා වගේ සරල දෙයක් නෙමෙයි.

රජය ආර්ථික අර්බුදය විසඳන්න පටන්ගත්තා විතරයි. මේ වගේ වෙලාවක ඡන්ද තියන්න ගියොත් ප්‍රශ්න තවත් උග්‍ර වෙනවා. මේ ඇත්ත තේරුම් ගන්න බැරි මිනිස්සු බලය ගෙන රට හදයි කියලා අපට විශ්වාස කරන්න පුළුවන්ද. වෙන රටක විපක්ෂයක් නම් අර්බුද විසඳන්න පවතින රජයට උදව් කරනවා. ඒත් අපේ රටේ විපක්ෂය ජනතාවගේ හිත් ඇතුළෙ බොරු බිල්ලො මව මවා රජයේ ගමන අවහිර කරනවා. ජනාධිපතිවරයා සුදුසු වෙලාවෙදී රටට ගැලපෙන මැතිවරණයක් තියාවි. එතකම් අපි ඔක්කොම එකතු වෙලා රට හදමු. දේශපාලන කරන වෙලාවට දේශපාලන කරමු. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ බොහොම දුක් මහන්සියෙන්. අභියෝගවලට බයේ අපි පැනලා යන්නේ නෑ. අපේ ගෙවල් ගිනි තිබ්බා. කොච්චර තාඩන පීඩන ආවත් තවම අපත්, අපේ පාක්ෂිකයෝත් පොහොට්ටුව එක්ක ඉන්නවා. මැතිවරණයක් තිබ්බොත් ආපහු ආණ්ඩු පිහිටුවන්නෙත් පොහොට්ටුවේ අපිම තමයි. පහුගිය කාලේ අපි ටිකක් නිහඬව හිටියා. විපක්ෂය හිතුවා, පොහොට්ටුව මැලවිලා කියලා. ඒක එයාලට වූ වැරදීමක්. ඒ කාලේ පක්ෂයක් විදියට අපිම අපේ වැරදි අඩුපාඩු ගැන ස්වයං විවේචනයක් කර ගත්තා. දක්ෂ නාවිකයන් බිහි වෙන්නෙ කුණාටු මුහුදෙ මිසක සන්සුන් මුහුදක නෙමෙයි.

දැන් අපි හිටියට වඩා ශක්තිමත්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණවලට බයේ පස්ස දොරෙන් පැනලා දුවන්නේ නෑ. ජනාධිපතිවරණයක් පැවැත්වුවොත් අපි ඒකට සූදානම්. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවොත් අපි ඒකටත් සූදානම්. අපේ පක්ෂය ඕනෑම මැතිවරණයකට ඕනෑම මොහොතක සූදානම්.”

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, කර්මාන්ත රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මිලාන් ජයතිලක, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here