මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ
සමෘද්ධි ප්රතිලාභ පිරිනැමීමේ ක්‍රමවේදය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමට කිසිදු සහායක් නොදුන් පිරිස, වැරදි මතවාද සමාජගත කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඉදිරියේදී සෑම දීමනාවක් පිරිනැමීමට ඒකාබද්ධ වූ සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් සකස් කරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය. ප්‍රජාව සවිබල ගැන්වීමට බැංකු පද්ධතිය යොදා ගනිමින් මේ ප්රතිලාභ, බැංකු ගිණුම් මඟින් ඍජුවම ප්‍රතිලාභියා වෙත පිරිනැමීමේ ක්‍රමවේදයක්ද සකසා ඇති බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා මේ වැඩපිළිවෙළ මඟින් කිසිදු ආකාරයකින් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ කටයුතු මෙන්ම රැකියා සුරක්ෂිතතාවට හෝ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් අයහපත් බලපෑමක් ඇති නොවන බවද පෙන්වා දුන්නේය.
ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන සාර්ථක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් දුන් සහයෝගය අගය කළ රාජ්‍ය ඇමැතිවරයා, ඉදිරියේදීද එම වැඩසටහන මඟින් අත්‍යවශ්‍යයෙන්ම ප්රතිලාභ ලැබිය යුතු පිරිස තෝරාගැනීමටත් එම විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
මහින්ද අලුත්ගෙදර