“අපි මාධ්‍ය පාලනය කරන්න යනවා කියා වැරදි අර්ථකථනයක් සමාජගත කරමින් සිටිනවා. අපි එසේ සිදු කරන්නේ නෑ. අපි කරන්න යන්නේ මාධ්‍ය නිවැරදි කිරීමයි.” යනුවෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
සභාපතිවරයා මේ බව පැවැසුවේ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මේ රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ බණ්ඩාරගම ප්‍රධාන සංවිධායක මහේෂ් කොතලාවල මහතාගේ නිවෙසේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද කීවේය.
“මාධ්‍ය තමයි මේ රටේ ජනතාව නිවැරදි පාරේ ගෙන යන ආයතන. ඒවා වැරදි පාරේ අරන් ගියොත් රට වැටෙනවා. මාධ්‍ය පාලනය කරන්න යනවා කියා මේ දවස්වල අනිසි බියක් තිබෙනවා.
මානසික ත්‍රස්තවාදය පාලනය කරන්න ලෝකයේ නීති තියෙනවා. ඒවා ලංකාවටත් අවශ්‍යයි. අපි අලුතෙන් මාධ්‍යයට නීති රීති හදන්න ඕනෙ නෑ. සිංගප්පූරුවේ පත්තරේක නැති එකක් කිව්වොත් දඩ ගහනවා. යන්තම් ගෑස් ටැංකිය දීලා, ඩීසල් ටික දීලා, භූමි තෙල් ටික දෙනකොට තව කණ්ඩායමක් එනවා දේශනා කරන්න. මේක කරන්න පුළුවන් රනිල්ට නෙමේ අපට තමයි කියනවා. කලින් හැංගිලා හිටියේ ඇයි එහෙනම්. රට වැටුණු වෙලාවේ හැම පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂයක්ම බෝඩ් එක ගලවලා හැංගිලා හිටියා. රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා දන්නවා, ආර්ථිකය වැටෙන වෙලාව සහ හැදෙන වෙලාව. ඒ මහතා දේශපාලනඥයකුට එහා ගිය ආර්ථික විශේෂඥයෙක්. එතුමා ශ්‍රී ලංකාවට සම්පතක්.”
බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක මහේෂ් කොතලාවල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු, එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
බණ්ඩාරගම බිමල් ජයසිංහ





