2019 සැප්තැම්බර් මස 21 වන දින සිට පසුගිය 8 වන දින දක්වා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් 8 වන දින ජනාධිපතිවරයා වෙත යොමු කළ අතර, ඉන් පුරප්පාඩු වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයෙකු වන නවීන් දිසානායක මහතා පත්කිරීමට නියමිතය.
පසුගිය මාසයේදී උතුර, වයඹ හා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී තිබූ අතර, උතුරු සහ වයඹ ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වුවත් සබරගමුව ආණ්ඩුකාරවරයා පෞද්ගලික නිල සංචාරයක නිරතව සිටි බැවින් ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රමාද විය. ටිකිරි කොබ්බෑකඩුව මහතා විදෙස් සංචාරය නිමකර පැමිණි වහා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබිණි.
නවීන් දිසානායක මහතා ජනාධිපතිවරයා වෙතින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම් ලිපිය මේ සතියේ බාර ගැනීමෙන් පසුව මේ මස 13 වන දින සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
කේ. ඒ. සුනිල් – කුරුවිට