එජාප සභාපති, මන්ත්‍රී වජිර අබේවර්ධන
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව එළැඹෙන ජූලි මස වෙනස් කිරීමෙන් පසු රටේ ව්‍යවස්ථාවත් වෙනස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (10) ගාල්ල සහ හබරාදූව පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“පවතින තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය වෙනස ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය කැපවෙනවා. ඒ සඳහා ගන්නා මුල්ම පියවරක් ලෙස පක්‍ෂ සම්මේලනයක් පවත්වා පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා.
1978 ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති වී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙක් ජනාධිපති වන්නේ ද ඔහු පක්‍ෂයේ නායකයා වන බවට පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළා.
1987දී පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැණිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. එහි ප්‍රතිඵලයක් හැටියට අපට බලය අහිමි වුණා. මනාප ක්‍රමය හඳුන්වා දුන්නේ ආර්. ප්‍රේමදාස මහතායි. ඒ කාලයේදී පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර මනාප ක්‍රමය හඳුන්වා දුන්නා. එයින් සිංහල, දෙමළ සහ මුස්ලිම් අය බෙදුණා. ආගම්, කුල, ජාති අනුව බෙදුණා. ඒ විනාශ වූ ජාතිය වෙනස් කරන්න අලුත් මඟක් අවශ්‍යයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අලුත් පක්‍ෂ ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකයා බෙදුණු, වැනසුණු ජාතිය නැවත නඟාසිටුවන්න කටයුතු කරනවා.
ඒ අනුව බලමණ්ඩල පිහිටුවා ජූලි මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්න කටයුතු කරනවා. ඊට පසුව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කළ යුතුයි. විනාශ වෙලා තිබෙන රටක් ගොඩ නඟන්න හොඳ පක්‍ෂ ව්‍යවස්ථාවක් වගේම හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් අවශ්‍යයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට ජපානයට දෙවතාවක් සහ එංගලන්තයට එක් වතාවක් ගොස් තිබෙනවා. මේ සතියේ ප්‍රංශයට ගොස් පැරිස් ක්ලබ් සාමාජිකයන් මුණගැසීමට නියමිතව තිබෙනවා. එසේ යන්නේ අපට ආධාර දෙන රටවල් මුණගැසී මේ රට ගොඩගන්න අවශ්‍ය කරන ඉලක්ක සම්පූර්ණ කරන්න.
රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකත්වය නොසිටින්න මුළු රටම විනාශයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් රටට යම් යම් සහන දෙමින් යනවා. ඒ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වසර 70 ගණනක් පුරා ගනුදෙනු කළත් නීත්‍ය නුකූලව රට පාලනය සිදු කළ යුතුයි. පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යවා තනි රනිල්ට රට භාර දිය යුතුයි කියලා මා ඒ කාලයේත් පැවසුවා. කෙසේ හෝ සත්‍ය ජය ගෙන තිබෙනවා.”
ශිරෝමි අබයසිංහ