නිරාවරණය වන නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කරන්නේ නැහැ
මන්ත්‍රී සරත් වීරසේකර
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම කාරක සභා වාර්තාව මඟින් පවසයි.
ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී කරුණු නිරාවරණය වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව මෙලෙස නිර්දේශ නොකරන බව එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය.
එමෙන්ම ත්රස්තවාදීන්ට, අන්තවාදීන්ට, කුමන ආකාරයකින් හෝ උදවු කරන, කළ කිසිවකුට මෙන්ම අසාධු ලේඛනගත කළ සංවිධානයකට මෙහි කිසිදු කොටසක් මිලදී ගැනීමට ඉඩ නොදිය යුතු බවද එම කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු හෙළිදරව් වීමට ඇති හැකියාව වැඩි බවත් පෞද්ගලීකරණය කිරීම තුළින් රටෙහි තීරණාත්මක සන්නිවේදන යටිතල පහසුකම් මෙන්ම රටෙහි සංවේදී තොරතුරු ලාභය ඉලක්ක කරගත් අභිලාෂය සහිත ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලික ආයතන වෙත නිරාවරණය වීම සිදු වෙනවා. එබැවින් ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතු බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මතයයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. එහි ඇතුළත් නිර්දේශ කිහිපයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කිරීමට මට විනාඩියක් දෙන්න.
ටෙලිකොම් ආයතනය දැනටමත් අර්ධ වශයෙන් පෞද්ගලීකරණයට ලක්කර ඇති අතර ජාත්‍යන්තර සමාගම් සතු කොටස්වලින් සියයට 44.98ක් ද රජයට අයත් කොටස් ප්‍රමාණයක් ද තිබෙනවා.
තවදුරටත් පෞද්ගලීකරණය කිරීම තුළින් රටෙහි තීරණාත්මක සන්නිවේදන යටිතල පහසුකම් මෙන්ම රටෙහි සංවේදී තොරතුරු ලාභය ඉලක්ක කරගත් අභිලාෂය සහිත ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලික ආයතන වෙත නිරාවරණය වීම සිදු වෙනවා.
එබැවින් ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයි.
එමෙන්ම ත්රස්තවාදීන්ට අන්තවාදීන්ට කවරාකාරයෙන් හෝ උපකාර කරන පුද්ගලයින්ට අසාධුලේඛන ගත කර ඇති පුද්ගලයින්ට සංවිධානයකට කිසිදු කොටසක් මිලදී ගැනීමට හා අපගේ ජාතික වත්කම් පාලනය කිරිමට ඉඩ නොදිය යුතුයි. එමෙන්ම ගිවිසුමේ විධි විධාන සලසා ඇති පරිදි රජයට ටෙලිකොම්හි අෙනකුත් විශාල කොටස් හිමියා සතු කොටස් ආපසු මිලදී ගත හැකි අතර එම කොටස් සංවේදී හා අතිරික්ත ඉඩම් සහ ගොඩනැඟිලි තීරණාත්මක යටිතල පහසුකම් සහ ව්‍යාපාර මෙන්ම ජාතික ආරක්ෂාවට බලපාන කොටස් රඳවා ගත යුතුයි.
තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීම මෙන්ම සියලුම රජයේ රෙගුලාසි ආරක්ෂා කිරීම සඳහා පුද්ගලික හවුල්කාරීත්ව මෙන්ම ප්‍රධාන කොටස් හිමියන්ගේ අනෙකුත් කොටස් රජයට ඉවත් කළ හැකියි. මේ ආකාරයෙන් රජය ලාභ ලබන අතර ජාතික ආරක්ෂාව සහතික කරමින් ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය හැකියි.
ආණ්ඩුව අතහිත දුන්නත් ඉන් ඔවුන් නිසි ප්‍රයෝජන ගත්තේ නෑ
සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ට
ඇමැති මහින්ද අමරවීර
සුළු හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්ට ආණ්ඩුව අතහිත දුන්නත්, ඉන් ඔවුන් නිසි ප්‍රයෝජන ලබා නොගත් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසීය.
‘ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම ‘ පිළිබඳ මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මෝල් හිමියන් දෙතුන් දෙනකුගේ අතේ තිබෙන සහල් ඒකාධිකාරිය බිඳ ඊට තවත් පිරිස් දායක කර ගත යුතුයි. ගොවීන්ට පසුගිය කාලයේ සහන රැසක් ලබා දුන්නා. එලෙස සහන දුන් අයුරින්ම සාධාරණ මිලකට වී මිල දී ගත යුතුයි.
මම අමාත්‍යාංශය භාර ගන්න කොට තිබුණේ මෝල් හිමියන් ආරක්ෂා කර ගන්නවාට වැඩිය ගොවියා ගොවිබිමට යවන ප්රශ්නයයි. ගොවියා ගොවිතැනෙන් ඉවත් වෙලා අරගලයේ හිටියේ. පළවැනි අභියෝගය තමයි ඔවුන් අරගලවලින් ඉවත් කරගෙන ගොවිබිමට යැවීම. ගොවි සංවිධානත් දේශපාලනයට සම්බන්ධ වෙලා තිබුණේ. මට පුළුවන් වුණා ජනාධිපතිවරයගේ ආශිර්වාදයත් සමඟ ගොවීන්ට රසායනික පොහොර ලබා දෙමින් නැවත වගාවන් කරන්න. ගිය යල් කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ පහක් පමණත්, මාස් කන්නයේදී හෙක්ටයාර් අට ලක්ෂයකට වඩා වගා කළා. දැන් සුළු මෝල් හිමියන් ආරක්ෂා කර ගැනීම, ගොවිතැන හා සම්බන්ධ අනෙක් කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සම්බන්ධව කතා කරන්න අවස්ථාව උදා වෙලා තිබෙනවා. මාස් කන්නයේ වී ගත්තේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. සුළු හා මධ්‍යම පරිමාණයේ මෝල් 429කින් වී මිල දී ගත්තා.
රුපියල් මිලියන 12000 විතර වී මිලදී අරගෙන තිබෙනවා. එකෙන් ඒ අයට මූල්‍යමය ශක්තියක් ලැබුණා. ණය ගෙවා ගන්න පුළුවන්කම ලැබුණා. සමහරුන්ට මේක සමඟ සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒකට හේතුව ඒ අය සල්ලි අරන් පියවලා තිබුණේ නැහැ. ඒ නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා.
රිළා ගහනය පාලනයට පිරිමි රිළවුන් වන්ධ්‍යකරණය කළ යුතුයි
මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
වගා හානි සිදු කරන රිළවුන් ගහනය පාලනය කිරීමට නම් පිරිමි රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසීය.
‘වගා හානි සිදු කරන රිළවුන් ගහනය පාලනය කිරීම’ සම්බන්ධයෙන් පෞද්ගලික යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
එසේ සිදුකළ හොත් වසර දෙකහමාරක් පමණ යන විට රිළවුන් වර්ධනය පාලනය කිරීමට හැකියි.
වාර්ෂිකව මෙරට කෘෂි භෝගවලින් සියයට 40ක් වන සතුන් නිසා හානියට පත් වෙනවා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ වාර්තාවය අනුව එය රුපියල් කෝටි 1800 ඉක්ම වූ හානියක්.
එහෙත් රිළවුන් මරා දැමීමෙන් ඊට විසඳුම් සෙවිය නොහැකියි. විද්‍යාත්මක ක්‍රමවේදයක් මඟින් එම සතුන් පාලනය කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ කෘෂි භෝගවලට වන සතුන්ගෙන් විශාල හානි සිදු වෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ වාර්තාව අනුව වන සතුන්ගෙන් සිදුවන වාර්ෂික වගා හානිය සියයට 40ක් රුපියල් කෝටි 1800ක් ඉක්මවෙනවා. මේ අතුරින් රිළවුන්ගෙන් කෘෂි වගාවට සිදුවන හානිය ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් මෙරට ගොවි ජනතාවට මෙන්ම රටේ ජාතික ආර්ථිකයට සෘජුවම බලපෑම් සිදු වෙනවා. බෞද්ධ රටක් ලෙස රිළවුන් විනාශ කිරීමෙන් මෙම ගැටලුව විසඳන්න බැහැ. විද්‍යාත්මක ක්‍රමවේදයක් මඟින් රිලවුන් පාලනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
රිළවුන් විසින් වගාවට කරන හානිය මේ වෙන කොට රට තුළ මහත් ආන්දෝලනයක් වෙලා තිබෙනවා. විශේෂයෙන් ආර්ථික හා සමාජයීය වශයෙන් මෙම හානිය සිදු වෙනවා. මේක වෙනම යුද්ධයක් වෙලා. පසුගිය කාලයේ සිවිල් යුද්ධයකට මුහුණ දුන්නා. ආර්ථික අර්බුදයක් තිබුණා. ඊළඟ යුද්ධය ලෙස මෙය හඳුන්වා දිය හැකියි. මේ හේතුව නිසා සමහරු වගාවෙන් ඈත් වෙමින් ඉන්නවා. එහිදී ගෙවතු වගාවෙන් දවසින් දවස දුරස් වෙමින් ඉන්නවා. ජෛව විවිධත්වයටත් රිළවුන්ගෙන් හානි සිදුවෙමින් තිබෙනවා. මෙම සතුන්ගේ ගහනය සීමා කර ගන්න පුළුවන් වුණොත් දැනට තිබෙන සීමිත ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලෙස ස්වයං රැකියා ඇති කිරීමට හැකි වෙනවා.
පාසල් අධ්‍යාපනයේ විශ්වසනීයත්වය ගොඩනැඟීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා
ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්
පාසල් පද්ධතිය තුළ නියමිත අධ්‍යාපනය ලබා දෙමින්, ගුණාත්මක ගුරුවරයෙක් පන්ති කාමරය තුළ ඇති කරමින්, පාසල් අධ්‍යාපනයේ විශ්වාසනීයත්වය ගොඩනැඟීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී (09) පැවසීය.
දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම පිළිබඳ රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
අපි අවධානය යොමු කරන්නේ මූලික පහසුකම් පාසල්වලට ලබා දීමටයි. ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීමටයි. අද කැඩෙටින් කරන්න, ස්කවුටින් කරන්න ළමයි නැහැ. විභාග ඉලක්ක කර ගෙන යනවා. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මෙම තරගකාරී විභාග රටාවෙන් ඉවත් වී දරුවන්ගේ කුසලතා දියුණු කිරීමේ වැඩපිළිවෙළකට ගමන් කරනවා. අපේ රටේ දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදු වන්නේ නැහැ. බොහෝ ප්‍රමාද වී එම කටයුතු සිදුවන්නේ ළමා මධ්‍යස්ථානවල පාලිකාවන් නිවැරදිව පුහුණු කරන්න ඕනෑ. මනෝ විද්‍යාව පවා කියා දිය යුතුයි. පාසලට ආවයින් පස්සේ වගකීම තියෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනය උගන්වන ගුරුවරුන්ට. අද සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගත් පිරිසගෙන් බොහොමයක් දාල තියෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ඉගැන්වීමට. මම එය වෙනස් කරන්නයි හැදුවේ. ගුරු වෘත්තියට එනව නම් ඊට ඔබින ආකාරයට සකස් කළ යුතුයි.
කුඩා සහල් මෝල් හිමියන් රැක ගත්තොත් සාධාරණ මිලකට ජනතාවට සහල් ලබාදිය හැකියි
මන්ත්‍රී කිංග්ස් නෙල්සන්
කුඩා සහල් මෝල් හිමියන් ආරක්ෂා කරගත හොත් සාධාරණ මිලකට ජනතාවට සහල් ලබාදිය හැකි බව පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසීය.
‘සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ලංකාව පුරා කුඩා මෝල් හිමියන් 700ක් පමණ සිටියා. අද වන විට කුඩා මෝල් විශාල සංඛ්‍යාවක් වැසී ගිහින්. මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන්ට ලබාදෙන සහන කුඩා සහල් මෝල් හිමියන්ටද ලබාදිය යුතුයි. කුඩා සහල් මෝල් හිමියන්ගේ ණය එකතු කර ගැනීම සඳහා වසර පහක පමණ සහන කාලයක් ලබාදිය යුතුයි.
විරෝධතා සහ උදඝෝෂණ කරන කිසිවකු කුඩා සහල් මෝල් හිමියන් ගැන කතා කරන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ සහල් මිල පාලනය කිරීමට හැකියාව ඇති සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වර්තමානය වන විට දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බැවින් එම ගැටලුව විසඳීමට කඩිනම් වැඩපිළිවෙළක් ආණ්ඩුව සකස් කළ යුතුයි. අහස උසට යන සහල් මිල ගැනවත්, සුළු හා මධ්‍යම පරිමාණයේ සහල් මෝල් හිමියන්ටත් වෙන ප්‍රශ්න ගැන අද කවුරුත් කතා කරන්නේ නැහැ. ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණයේ සහල් මෝල් 700ට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා මෝල් 70ක් විතර තිබෙනවා. මෙයින් සියයට 65ක් විතර වහලා ණය ගෙවා ගන්න බැරුව. මේ කුඩා මෝලකින් දවසකට කිලෝ 3000ක් විතර නිෂ්පාදනය කරනවා. කුඩා සහල් මෝල් හිමියන් ආරක්ෂා කරගත හොත් සාධාරණ මිලකට ජනතාවට සහල් ලබාදිය හැකියි. මේ කුඩා සහල් මෝල් වැසී යෑමෙන් රැකියා විශාල ප්‍රමාණයක් නැති වෙලා තිබෙනවා. වී ගබඩා කරන්න බැංකුවලින් ණය දෙනවා. සියයට 26 පමණ පොලියක් අය කරනවා. කුඩා මෝල් හිමියන්ට එය ගෙවා ගන්න බැහැ.