කාබනික පොහොර වංචාව සහ නැනෝ දියර පොහොර වංචාව හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව රජය ගෙන ඇති පියවර කවරේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රශ්න කර සිටියේය.
චීන කාබනික පොහොර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවා ඇති නමුත්, මේ වන විට පොහොර හෝ මුදල් හෝ නැති බවත් එම මුදල් නැවත ලබා ගෙන පාඩුව පියවා ගැනීමට කටයුතු කර නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විගණකාධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති හෙයින් මේ මහා පාඩුව පියවාගැනීමට වැඩකටයුතු කරන්නේ කවදාදැයි විමසන බවත්, එම මුදල් වංචනික ලෙස අල්ලස් කොමිස් ක්‍රියාවලිය තුළ රටට අහිමි කළ මුදල් නැවත ලබා ගන්නේ කවදාදැයි පවසන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
එසේම ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉන්දීය ගොවි පොහොර සමාගම හරහා නැනෝ නයිට්රජන් පොහොර ලීටර් ලක්ෂ 21ක් ගෙන ඇත්තේ ඉතා වැරදි ක්‍රියාපිළිවෙතක් හරහා බවත් ඉන්දියාව තුළ ඩොලර් 3.23කට අලෙවි වූ මි.ලී. 500 නැනෝ දියර පොහොර බෝතලයක් ශ්‍රී ලංකාව මිල දී ගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් 12.45කට වන අතර මේ නිසා රටට රුපියල් මිලියන 7,841ක් අමතරව ගෙවා ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර