Home Politics News Room : පළාත් පාලන සීමා නිර්ණය ගැන අවසන් තීරණය ගන්නා හැටි...

News Room : පළාත් පාලන සීමා නිර්ණය ගැන අවසන් තීරණය ගන්නා හැටි අගමැති කියයි

3
0

පළාත් පාලන මැතිවරණය සදහා සීමා නිර්ණය කිරීමේදී මන්ත්‍රීවරු සංඛ්‍යාව අඩුකිරීම සිදුකළද කිසිදු ජන කොට්ඨාසයකට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවත්, සියලු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුව සමග සාකච්ඡා නොකොට අවසන් තීරණයන්ට එළඹෙන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සහතික වෙයි.  

 

තරුණ සහ කාන්තා නියෝජනයට සාධාරණයක් වන පරිදි මෙම කටයුතු සිදුවිය යුතු බවද ඔහු පැවසිය. 

 

පාර්ලිමේන්තුවේ ඊයේ(07) පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතීත්වය දරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය  අශෝක ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

2023 පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා බාරදුන් රාජ්‍ය සේවකයන්ට මැතිවරණය ප්‍රමාදවීම නිසා මුහුණපාන්නට සිදුව ඇති දුෂ්කරතා පිළිබද මෙහිදී අවධානය යොමු විය. ඔවුන් සදහා වැටුප් ගෙවිය යුතු බවට චක්‍රලේඛනයක් නිකුත් කර තිබියදීත් ඇතැම් ආයතනවල එම කටයුතු නිසි පරිදි සිදු නොවන බවටත් මෙහිදී සාකච්ඡා විය. එසේම ඇතිවී ඇති තත්ත්වය අනුව තාවකාලික අනුයුක්ත කිරීම් සිදු කිරීමේදී මෙම සේවකයන්ට විශාල අපහසුතාවන්ට පත්වීමට සිදුව ඇති බවත් මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. මෙහිදී ළගම ආයතනයට අනියුක්ත කිරීම් සිදුකීරමට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

 

මෙම තත්තවය වෙනස් කිරීම සදහා අවශ්‍යමය නීතිමය සංශෝධනය ගෙනඒමට පියවර ගන්නා ලෙස ද මන්ත්‍රීවරයන් විසින් මෙහිදී ඉල්ලීමක් කරන ලදී. නොඑසේ නම් නම් පාර්ලිමේන්තුව මගින්  නාමයෝජනා අහෝසි කිරීම සදහා යෝජනාවක් සම්මත කිරීම සදහා වන යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය.

 

ක්ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට පවතින බාධා ඉවත් කිරීම සදහා සකස් කළ පනත් කෙටුම්පතෙහි කටයුතු පිළිබදව ද කමිටුවේ අවධානය යොමු විය. ඒ අනුව පනත් කෙටුම්පත නීතිපති උපදෙස් සදහා යොමුකර ඇති බවත් නිලධාරීහු පැවසූහ. ඒ අනුව ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගෙන පනත් කෙටුම්පතෙහි කටයුතු අවසන් කිරීමට  අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතේ මේවන විට පළාත් පාලන ආයතන පාලනය වන බැවින් මහජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සදහා මැදිහත් වීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා මහජන ගැටලු විසදීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙහිදී පැවසීය.

 

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසිපරිදි මාරුවීම් ලබා නොදීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ මාරුවීම් නිසිපරිදි සිදුකළ යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව වහාම ඒ සදහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 

තිස්සමහාරාම හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය මාධ්‍යයට පවසා ඇති කරුණු සම්බන්ධයෙන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක ව වාර්තාවක් කැදවූ බවත්  පෞද්ගලික හේතුවක් මත කැමැත්තෙන් ස්ථානමාරුවක් ඉල්ලා ඇති බවට ලිපියක් ද ලැබුණු බවත් අනාවරණය විය. මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම සාධාරණ නොවන බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

 

වේයන්ගොඩ ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා නගරසභා බවට පත්කිරීමේ කටයුතු පිළිබදව ද මෙහිදී අගාමාත්‍යවරයාගේ අවධානය යොමුවිය. මෙවැනි ඉල්ලීම් 85 ක් මේ වන විට පවතින බවත් හෙළිවිය. ඒ අනුව එම කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස්  අග්‍රාමාත්‍යවරයා විසින් ලබා දෙන ලදී.

 

2020 වසරේ උපාධිධාරී අභ්‍යාසලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලද උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ වැඩසටහනේදී මෙම ක්‍රියාවලියේ පැවති අඩුපාඩු හේතුවෙන් ස්ථිර පත්වීම් ලබා දී නොමැති පිරිස ස්ථිර කිරීම පිළිබදව විපක්ෂනායකවරයා කාරක සභාවේ අවධානයට යොමු කළේය. ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව, අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් සමාලෝචන කමිටුවෙන් නිර්දේශ කර ඇති බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව එම කටයුතු කඩිනම් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දුන්නේය.

 

රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කර ඇති 30,000 කට ආසන්න බහු කාර්ය දෙපාර්තමේන්තු සේවකයින්, දැනට සිටින ස්ථානවල ම සේවයේ යෙදවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සොයාබලන බවත්, ඔවුන්ගේ වැටුප පවා ඉහළ තලයකට පත්වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය. 

 

තවද පළාත් පාලන ආයතනවල වසර ගණනාවත් සේවය කළ පිරිස ස්ථිර කිරීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.  දැනට මෙවැනි සේවකයන් 9700ක් සිටින බවත් ඒ සදහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here