ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ අත්වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීමට රජය බලාපොරොත්තු වන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ වරාය සහ ගුවන් සේවා පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූණා. ඒ අනුව ලසාඩ් සමාගමට වගකීම පැවරී තිබෙනවා. රටට වැඩි ප්‍රතිලාභයක් ඇති කරගැනීමට මේ කාර්යය සිදු කළ යුතු බවට රජය ඍජු ස්ථාවරයක සිටිනවා. ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වලදී ගමනාන්තයන් ඇතුළු ගොඩබැස්සවිය හැකි රටවල් තීරණයට අයිතියක් තිබෙනවා. මෙහිදී මෙකී සියලු කරුණු සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කරනවා. එනිසා ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒ සඳහා භාවිත කළ හැකි හවුල්කාරිත්වයන් සම්බන්ධයෙන් බොහෝ විකල්ප තිබෙනවා. ඉතා වාසිදායික ක්‍රමවේදයක් අනුගමනය කරනවා.
ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඇතිව දේශපාලනඥයන් නොවන වෙනම විද්වත් කමිටුවක් මුදල් අමාත්‍යාංශයෙන් මේ වන විට පත් කර තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මේ කමිටුව ලසාඩ් සමාගම සමඟ සාකච්ඡා කරමින් කරමින් සිටිනවා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම කමිටුව තීරණ ගන්නවා.”
මේ රැස්වීමට ඇමැති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැතිවරුන් වන ප්‍රේමලාල් ජයසේකර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ජේ. සී. අලවතුවල, චාල්ස් නිර්මලනාදන්, වීරසුමන වීරසිංහ, ජයන්ත සමරවීර, ජගත්කුමාර සුමිත්‍රආරච්චි සහ මිලාන් ජයතිලක මහත්වරු එක්ව සිටියහ.
ස්වර්ණා විජේකෝන් සහ
නුවන් කොඩිකාර





