අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතත්වය දැරීමට සුදුසු නොවේ යැයි ‘මාර්තු 12’ ව්‍යාපාරයේ කැඳවුම්කරු, නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් නිවේදනය නිකුත් කරන ඒ මහතා වැඩිදුරටත් මෙසේ කරුණු දක්වයි.
“මහජන නියෝජිතයන් පිළිබඳ ශ්‍රී ලාංකේය පුරවැසියා තුළ ඇත්තේ එතරම් පහන් හැඟීමක් නොවේ. එකී දුර්වර්ණ චිත්‍රය තවත් අඳුරු කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සමස්ත දේශය හමුවේ දූෂිත දේශපාලකයෙක් බව සාක්ෂි සහිතව සනාථ කර තිබෙනවා.
ඔහු සිදු කරන ලද වංචාව නම් රුපියල් මිලියන 78.2ක වටිනාකමින් යුත් රත්රන්, රත්රන් ආභරණ සහ නවීන ජංගම දුරකතන 91ක් අප්රකාශිතව කටුනායක ගුවන්තොටුපළෙහි ප්‍රභූ පර්යන්තය භාවිත කරමින් මෙරටට රැගෙන ඒමට උත්සාහ දැරීමයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සිට ගුවන්ගතව ඇති FZ547 දරන ගුවන් යානයෙන් පැමිණි අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ මේ ක්‍රියාකලාපය තුළ අවධානයට ලක් කළ යුතු මූලික කරුණු රැසක් තිබෙනවා.
මාර්තු 12 ව්‍යාපාරය දැඩිව මේ කරුණු පෙන්වා දෙනවා. මේ මන්ත්‍රීවරයා මීට පෙරත් මෙවැන්නක් සිදු කර තිබේ දැයි සොයා බැලීමට ඔහුගේ පෙර ගමන් වාර පිළිබඳව යම් පූර්ණ පරීක්ෂාවක් කර ප්‍රභූ පර්යන්තය භාවිත කිරීම ඔහුට වහා තහනම් කළ යුතුයි. 1988 රේගු ආඥා පනත ප්‍රකාරව මන්ත්‍රීවරයාට එරෙහිව ඔහුගෙන් අය කර ගන්නා ලද දඩ මුදල ද ප්රශ්නකාරී බව මාර්තු 12 ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. එවැනි සාවද්‍ය ක්‍රියාවක නිරත පුද්ගලයකුගෙන් අය කර ගත හැකි උපරිම දඩ මුදල අය කරගැනීමක් එහිදී සිදුව නෑ. ඒ සඳහා වන පැහැදිලි අභිප්රායක් ද ඔවුන් තුළ තිබුණ වගක් දිස් වන්නේ නෑ. එනිසා මේ සිදු වීමත් සමඟ පැහැදිලි වන්නේ ව්‍යාපාරිකයන් අධෛර්යවත් නොකිරීම පදනම සේ ගනිමින් සකස් කර ඇති මෙකී නීතිය වත්මන් කාලයට ඔබින සේ නැවත සංශෝධනයට ලක් කළ යුතු බවයි. යටත් පිරිසෙන් මෙවැනි වංචාවක නිරත වන්නේ මහජන නියෝජිතයෙක් නම් එකී පිරිසට එරෙහිව දඬුවම් දැඩිව දීමේ ක්‍රමවේදයකට අප වහා ප්‍රවේශ විය යුතුයි.”
අනුර ප්‍රේමලාල්





