අවුරුදු 53ක් පාර්ලිමේන්තුවේ හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ. අවුරුදු 45ක් හිටපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙත් නෑ. වෙලාවට ගැළපෙන හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. අපි දෙගොල්ලොම එකතු වෙලා රට ගොඩනැඟීම පක්ෂ දෙකේම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසනයේ නියෝජිත සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බෙන්තොට හබුරුගලදී පෙරේදා (27) පැවසීය.
කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.
වැඩිදුරටත් සභාව ඇමතූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
අද ගුරුවරයාට ළමයි හෙල්මට් එකෙන් ගහනවා. තාත්තාට පුතා පිහියෙන් අනිනවා. යාළුවො දෙන්නෙක් ගහගත්තොත් පිහියෙන් අනිනවා. මත්ද්‍රව්‍ය නිසා ඇති වූ සමාජයේ බිඳවැටීම අරගල භූමියෙන් පසුව තවත් වැඩි වුණා. රැකියා ලක්ෂ ගණනක් අහිමි වීම නිසා සමාජ අර්බුදයක් ගොඩනැඟෙමින් තිබෙනවා. ආයෝජකයන් සහ කර්මාන්ත අපි එදා ආරක්ෂා කළා. අලුත් රැකියා බිහිකරන ලෙසත් තිබෙන රැකියා ආරක්ෂා කරන ලෙසත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. අරගලය තුළින් මෙරට ප්රජාතන්ත්රවාදය වළ දාන්න උත්සාහ කළා. අරගලය තුළින් රට අස්ථාවර කරන්න උත්සාහ කළා. මැතිවරණ ක්‍රම වෙනුවට ගෙවල් ගිනි තබා විනාශ කළා. බලහත්කාරයෙන් ආණ්ඩු පිහිටුවීමට උත්සාහ කළා. මත්ද්‍රව්‍ය සමාජය තුළ පැතිරිලා. අරගලය නිසා බිඳවැටුණු සමාජය නැවත ගොඩනැඟිය යුතුයි.
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකා වික්‍රමසිංහ, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සෞම්‍ය කුමාර ද සිල්වා යන මහත්ම මහත්මීහු ද සභාව ඇමතූහ.
බෙන්තොට – එස්. මද්දෙවිතාන