එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර
විදේශ සංචාර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල නඩයක් එක් කරගෙන ගොස් රටේ ධනස්කන්ධය අනවශ්‍ය ලෙස වියදම් නොකරන බවත්, එය ඔහුගේ සම්පූර්ණ දේශපාලන භාවිතය තුළම තිබෙන ප්‍රතිපත්තියක් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
මහ ලේකම්වරයා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙලෙස ද කීය.
“බුදු දහම ලොව පුරා ප්‍රචාරය කිරීමේ අරමුණින් මහා විහාරයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපන් සංචාරයේදී සාකච්ඡා කරනවා. විදේශ සංචාර සඳහා ජනාධිපතිවරයා විශාල නඩයක් එක් කරගෙන ගිහින් රටේ ධනස්කන්ධය අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ නෑ. එය ඔහුගේ සම්පූර්ණ දේශපාලන භාවිතය තුළම තිබෙන ප්‍රතිපත්තියක්. මෙවර ජපන් සංචාරයේදී ථෙරවාදී බුදු දහම ලෝකය පුරා ප්‍රචාරය කිරීමේ අරමුණින් මහා විහාරයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. බොහෝ අය ජනාධිපතිවරයා විවේචනය කළේ බුදුදහම දන්නේ නැති කෙනෙක් විදිහටයි. අද ථෙරවාදී බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමට ලෝකයේ ඕනෑම කෙනකුට ඒ සම්බන්ධව හැදෑරීමට පියවර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා රටේ ජනතාවට දැනගන්න පුළුවන්. කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුමක් විදියට වික්‍රමසිංහ මහතා අග්රාමාත්යවරයාවී සිටිද්දී ක්‍රියාත්මක කළ සැහැල්ලු දුම්රිය මාර්ගයේ වැඩසටහන නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටත් මේ සංචාරයේදී බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපට 2024දී ජපානයේ ආධාර සහිතව මේ සැහැල්ලු දුම්රිය මාර්ගය යළි ගැනීමේ හැකියාව තිබෙනවා.
“වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය අතර සටනක් ඇති වෙලා තිබෙන බව පෙනෙනවා. අන්තරේ කැඳවුම්කරු විදියට හිටපු වසන්ත මුදලිගේ ඉවත් කර අලුත් කැඳවුම්කරු පත් කිරීම සම්බන්ධව ඔවුන්ගේ එකඟතාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙන කෙනෙක් අන්තරයට පත්කර ගැනීම. ඒ අනුව මේ පක්ෂ දෙක එකිනෙකාට එරෙහිව සටන් වදින බවක් පෙනෙන්න තිබෙනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නොව පක්ෂයේ බලය තහවුරු කරගැනීම මොවුන්ගේ අරමුණ බව ඉතා පැහැදිලියි.”
ශිරෝමි අබයසිංහ