සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් කරගෙන යමින් රටේ සංවර්ධනයට අතගසා තිබෙන මේ අවස්ථාවේ විපක්ෂය කකුලෙන් ඇදීම නතර කර රටේ දියුණුව වෙනුවෙන් රජයට සහාය දිය යුතු බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
වර්තමානයේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ලෝකයම පිළිගෙන තිබෙන බවත් ඒ වෙනුවෙන් පක්ෂ විපක්ෂය මෙන්ම සමස්ත ජනතාවගේ සහාය ලබාදීම රට වෙනුවෙන් කරන යුතුකමක් බව ද හෙතෙම අවධාරණය කළේය.
හෙතෙම මේ බව පැවසූවේ ඊයේ (10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව මේ මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණි.
එහිදී සමන් රත්නප්‍රිය මහතා මෙසේද කීවේය.
ගිය වසරේ මැයි මස ආරම්භයේ තිබූ ගෑස් පෝලිම්, තෙල් පෝලිම් අද වන විට නැති වී ඒවාට විසඳුම් ලැබී තිබෙනවා. ගෑස් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල යම් ප්‍රමාණයකට අඩු කර ජනතාවට ජීවත්වීමට හැකි තත්ත්වයකට පත් කර තියෙනවා. නමුත් ආර්ථික අර්බුදය තවම අවසන් නැහැ. එය කළමනාකරණය කළ යුතුව තිබෙනවා. ජනතාව පත්කර යවපු පාර්ලිමේන්තු නියෝජිතවරුන් තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරනවා ද කියන එක ප්‍රශ්නයක්. රට යථා තත්ත්වයට පත් කිරීම ලේසි නැහැ. සංචාරක කර්මාන්තය වැඩි කර විදේශ සංචිත මඟින් ආර්ථිකය වැඩි කරගන්න රට ඇතුළේ සහයෝගය හරියට වෙනවනම් ධනාත්මකව රට ඉදිරියට යාහැකියි. නමුත් විපක්ෂය ආර්ථිකය කඩා වැටුණු වෙලාවෙත් රට භාරගන්න බය වුණා. අදත් තමන්ගේ දේශපාලන සිතියම රටේ ක්‍රියාත්මක කරන්නයි උත්සාහ ගන්නේ. රට ගොඩ ගැනීම වෙනුවෙන් රජයට සහාය වෙන්න කැමැති නැහැ. ඒ අය විවිධ මතිමතාන්තර දරාගෙන ජනතාව පාරට ගේන්න තමයි වෑයම් කරන්නේ. උද්ඝෝෂණ වෙනුවෙන් 2000ක් 3000ක් පාරට ගෙන්වා ගත්තත් ඒවා සාර්ථක නැහැ. පසුගිය වසරේ ජීවන වියදම බරපතළ ආර්ථික අර්බුදය ඒ අයට මතක නැහැ. වර්තමාන ජනාධිපතිවරයා අද වන විට රට කිසියම් ස්ථාවර මට්ටමකට පත් කර තිබෙනවා.
කැබිනට් තීන්දු දැනුම්දීමට අනුව යම්කිසි සාධනීය තීන්දු ලැබී තිබෙනවා. ඒ අනුව ගෙවන වාට්ටු සංකීර්ණ වැඩි කරන ලෙස කළ හොඳ යෝජනාවක්. රාජ්‍ය අංශයේ ඇති අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍ර ලාභ ලැබීමේ ආයතන බවට පත් කර ගැනීම ලේසි නැහැ. නමුත් මේවා අතරේ යම් ආදායමක් ඉපැයිය හැකි මට්ටමකට පත්කළ හැකිනම් රජයට විශාල ආදායමක් අත්කරගත හැකියි. රජයේ රෝහලකින් හෙම්බිරිස්සාවට උණට බෙහෙතක් ගත් විට දින දෙකකින් අදාළ ලෙඩේ යම් ප්‍රමාණයකට සමනය වීමත් සමඟ ඉතුරු බෙහෙත් ටික විසි කර දැමීම ජනතාව අතර ඇති පුරුද්දක්. නමුත් ඔවුන් නොසිතුවාට ඒ විසි කරන්නේ ජනතාවගෙන් ගත් බදු මුදලින් ගත් බෙහෙත්.
රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් සම්පත් රාජිත මහතා –
පරිපාලනය නිසා තමයි රටේ රාජ්‍ය ක්ෂේත්රයේ අවුල් ඇතිවී තියෙන්නේ. මේ නිසා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. නැතිනම් ජනතාව අමාරුවේ වැටෙනවා. පළාත් පාලන ඇමැතිවරු 225කගේ වාහන අතුරුදන් වී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 දෙනා හා අදාළ ලේකම්වරු ඒවාට වගකිව යුතුයි.
ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු මහතා –
මීට මාස ගණනකට පෙර රටේ ඩොලර් හිඟයක් ඇති වී රට බංකොලොත් තත්ත්වයට පත්වෙමින් තිබුණ ද ජනාධිපතිවරයාගේ දූරදර්ශී ක්‍රියාකලාපය හමුවේ අද වන විට රට ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙනවා. මේ නිසා බැංකු පද්ධතිය සම්බන්ධයෙන් අවදානමක් හෝ කිසිදු බියවීමක් ඇති කර ගතයුතු නැහැ.
රාජ්‍ය සේවා ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.බී. වික්‍රමසිහ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමයේ ලේකම් තුෂාරි ප්‍රියංකා මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.
උදුලා පීරිස්