මන්ත්‍රී නවීන් දිසානායක
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ හමුවෙන් රටේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට යොදා ගත හැකි සම්බන්ධතා ඡාලයක් ගොඩනඟා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමැති නවීන් දිසානායක මහතා පැවැසීය.
හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“මේ රටේ ජනතාවට වසර හතරකට පසු අලුත් අවුරුද්ද සහ වෙසක් උත්සවය හොඳින් සමරන්න අවස්ථාව උදා වුණා. පෝලිම් යුගය අවසන්වී රට යම්කිසි යහපත් තැනකට පත් වෙලා තිබීම ඊට හේතුවයි. ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පදනම ටිකෙන් ටික සකස් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ හමුව පැවැත්වුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ ප්‍රසාදය ඒ වෙනුවෙන් පළ වෙලා තිබුණා. රටේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට බොහෝ සම්බන්ධතා ජාලයක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව ජනාධිපතිවරයාට ඒ හරහා උදා වුණා. කටාර් රාජ්‍ය ඇතුළු මැදපෙරදිග අනෙක් රටවල නායකයන් මුණගැසී සාකච්ඡා කිරීමේ අවස්ථාව ඒ මහතාට උදා වුණා. අපේ රටේ පවතින තෙල් අර්බුදයට යම්කිසි සාධාරණ විසඳුමක් ළඟා කර ගැනීමට මේ සාකච්ඡා ඉවහල් වේ යැයි අප හිතනවා. සියයට 50.3%ට පැවති රටේ උද්ධමනය අද වෙනකොට 35.3% වන තෙක් අඩු වෙලා තිබෙනවා. එය වඩා යහපත් ප්‍රගතියක්. ආහාර උද්ධමනය 43% සිට 32% දක්වා අඩු වෙලා තිබෙනවා. ජනතාව අපෙන් අහන්න පුළුවන්, මේ ලැබෙන ප්රතිලාභ නිසි විදිහට ජනතාවට ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා.
පාරිභෝගික සේවා අධිකාරියේ සෑහෙන දුර්වලතා අපට පෙනෙන්න තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය මීට වඩා මෙහෙයක් මේ මොහොතේ සිදු කළ යුතුයි.”
ශිරෝමි අබයසිංහ