පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන
ත්‍රස්තවාදය යටපත් කර වසරකටත් අඩු කාලයකදී ප්රජාතන්ත්රවාදය ඉස්මතු කිරීමට වත්මන් රජයට හැකියාව ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (03) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සතියකට පෙර කළ දැනුම් දීමට අනුව මෙවර මැයි දිනය සාර්ථක ලෙස සැමරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබුණා. ඉතා ඉහළින් මැයි දිනය සැමරීමට කටයුතු කළා. මෙවර මැයි දිනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපට කැම්බල් පිටියේදී ඉතා සාර්ථකව පවත්වන්න හැකි වුණා. අපි මේකට සූදානම් වුණේ දවස් හත අටක් තියාගෙන. පසුගිය වසරේ මැයි දිනය වෙනකොට අපට විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වුණා. මේ රටේ ආණ්ඩුව එළවන්න, ජනාධිපතිවරයා එළවන්න කියලා සංවිධාන වූ පිරිසක් විසින් කොළඹ සහ රටේම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළා. එවැනි තත්ත්වයක් මත මේ තරම් විශාල ජනතාවක් සහභාගි කරවා ගැනීම ලොකු ජයග්‍රහණයක්.
ප්රජාතන්ත්රවාදය වළදා පක්ෂවල වැඩපිළිවෙළ විනාශ කරන්න තමයි ඒ කුමන්ත්රණකාරී පිරිස මුල ඉඳන්ම කටයුතු කළේ. මේ ත්‍රස්තවාදය යටපත් කර ප්රජාතන්ත්රවාදය ඉස්මතු කරන්න අවුරුද්දකටත් අඩු කාලයකින් කරන්න හැකි වීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. මම දැක්කා, සමහර මාධ්‍යවල ප්‍රකාශ කර තිබුණා මෙවර මැයි දිනයට සෑම පක්ෂයකම ජනතා සහභාගිත්වය අඩු වෙලා තිබෙනවා කියලා. මෙයට වගකියන්න ඕනෙ අපි නොවේ. එයට වගකියන්න ඕනෙ බේරේ වැවට මිනිස්සු තල්ලු කර, රැස්වීමට ආ මිනිසුන්ගේ බස් ගිනි තැබූ, ජීවිත නැති කළ අයයි. ඒ නිසා මේ අවුරුද්දකට අඩු කාලයක දී ප්රජාතන්ත්රවාදය මේ විදිහට ගොඩනැඟීමට අපටත්, ආණ්ඩුවටත් කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව ජනතාව ස්තූති කරනවා.”
මහින්ද අලුත්ගෙදර





