Home Politics News Room : පුංචි ඡන්දෙට ඉල්ලූ රාජ්‍ය සේවකයන්ට වැටුපක් දෙනවා කිවුවත් තාම...

News Room : පුංචි ඡන්දෙට ඉල්ලූ රාජ්‍ය සේවකයන්ට වැටුපක් දෙනවා කිවුවත් තාම ගෙවා නෑ

2
0

මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට අගතියක් නොවන අයුරින් ඔවුන්ගේ වැටුප් ගෙවන බවට විෂය භාර ඇමැතිවරයා මීට පෙර කියා සිටියද, අද වන තුරුත් ඒ වැටුප් ගෙවා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවැසීය.

එබැවින් රජයට ඍජු තීන්දුවක් ගෙන, මේ අපේක්ෂක අපේක්ෂිකාවන්ට හිමි වැටුප් සහ දීමනා ගෙවීමට බැරි හේතුව කුමක්ද කියා තමා විමසන බව හෙතෙම කීවේය.

මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කොන්දක් නැති නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප අහිමි කරන එක හරිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය. රාජ්‍ය සේවකයන්ට වැටුප අහිමි වී තිබෙන්නේ ඒ අයගේ වරදින් නොවේ යැයි පැවැසූ විපක්ෂ නායකවරයා දහස් ගණනක් රාජ්‍ය සේවකයන් අනාථ කළේ ආණ්ඩුව බවද කීවේය.

බොහෝ රාජ්‍ය සේවකයන්ට තවමත් වැටුප් ලැබී නැති බවත්, මෙය බරපතළ කාරණයක් සේ සලකා ආණ්ඩුව මීට මැදිහත් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. මැතිවරණයට මුදල් දෙන්න බැරි නම් ඉදිරිපත් වූ රාජ්‍ය සේවක අපේක්ෂකයන්ගේ වැටුප්වත් හරියට ගෙවන්නැයි විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය:

“මේ වන විට මැතිවරණය පවත්වනවාද නැද්ද කියා සංක්‍රාන්තික කාලයක රජය පසු වෙනවා. මෙම අපේක්ෂක අපේක්ෂිකාවන්ට වැටුප් සහ දීමනා නිසි පරිදි නොලැබීම බරපතළ කරුණක්. මේ වැටුප් අහිමි වී ඇත්තේ ඔවුන්ගේ වරදින් නෙවෙයි. රජයට මැතිවරණයකට මුහුණ දීමට ඇති බියගුලුකම නිසා සහ කශේරුවක් නැති නිසයි මේ තත්ත්වය උදා වී තිබෙන්නේ.

“මෙය දේශපාලන ගැටලුවක් නෙවෙයි; ආණ්ඩුව මැතිවරණයට මුදල් දීමෙන් වැළකී සිටීම නිසා මැතිවරණය නතර වී තිබෙනවා. තවත් රාජ්‍ය සේවකයන් අනාථ නොකර, මැතිවරණයක් පැවැත්වෙන්නේ නැති නම් මේ අපේක්ෂකයන්ට හිමි වැටුප් සහ දීමනා දෙන්න කියලා විෂය භාර ඇමැතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.“

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here