Home Politics News Room : දුම්රිය සේවයේ වෙනස්කම් කිරීමට නම් එය අධිකාරියක් කළ යුතු...

News Room : දුම්රිය සේවයේ වෙනස්කම් කිරීමට නම් එය අධිකාරියක් කළ යුතු වෙනවා

2
0

විපක්ෂයේ සහාය අවශ්‍ය බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි

දුම්රිය සේවයේ වෙනස්කම් කිරීමට නම් එය දෙපාර්තමේන්තුවක් වෙනුවට අධිකාරියක් කළ යුතු බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසීය.

පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

දෙපාර්තමේන්තු ක්‍රමයට වාණිජ කටයුතු කළ නොහැකි හෙයින් එම ආයතනය අධිකාරියක් කිරීමට සහාය දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. එසේ අධිකාරියක් බවට පත් කළ හොත් පවතින ප්‍රශ්න සියල්ල විසඳා ගත හැකියි.

2021 වසරේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ ආදායම රු. බිලියන 2.9ක්.

අතිකාල දීමනා සඳහා බිලියන 2.3 කුත්, වැටුප් ලෙස බිලියන 7ක් ගෙවීමට සිදු වුණා. අතිකාල දීමනා වැඩිපුර ගෙවීමට සිදුව ඇත්තේ විශ්‍රාම යන රියැදුරන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට සිදුව ඇති හෙයින්.

තෙල් ප්‍රවාහන අවශ්‍යතාවෙන් දුම්රිය සම්පූර්ණ කරන්නේ 40%ක් බවත් තව 60%ක් ප්‍රවාහනය කිරීමට සිදුව තිබෙනවා.

තෙල් ගෙනියන්න වැඩියෙන් දාන්නෙත් මඟීන් ගෙනයන ඇන්ජින්. මඟීන්ට ඒ සේවය නැති වෙනවා. කටුනායකට තෙල් ප්‍රවාහනය කරගන්න බැරි වුණොත් සම්පූර්ණයෙන්ම සංචාරක ව්‍යාපාරය ඇනහිටිනවා. මම කංචන විජේසේකර ඇමැතිවරයාට කිවුවා තමන් විසින් දුම්රිය ඇංජින් ටිකත් ගෙනත් මේ ටැංකි ටිකත් ගෙනත් තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය කරන්න. මම දුම්රිය මාර්ගය දෙන්නම් කියලා. මිලියන 200ක් වියදම් කරපු දුම්රියේ ඕකයි ප්‍රශ්නය. දුම්රියෙන් කොළඹට එළවළු ගේන්න පුළුවන්.

කොන්ත්‍රාත් පදනම යටතේ විශාල අතිකාල ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. දුම්රිය ආදායම 2021 වසරේ බිලියන 2.9යි. අතිකාල දීමනා ගෙවලා තිබෙනවා බිලියන 2.3ක්. වැටුප් ගෙවලා තිබෙනවා බිලියන 7ක්. කොහොමද දුම්රිය ගෙනියන්නේ. අවුරුදු 10 පුහුණු කාලය වෙනස් කරන්න බැහැ. එහෙම කළොත් මුළු රාජ්‍ය සේවයටම එය බලපානවා. දෙපාර්තමේන්තු ක්‍රමයට මෙය කරන්න බැහැ. දුම්රිය අධිකාරියක් කරන්න ඕනෑ අවශ්‍ය වෙනස්කම් කරන්න.

ඒ සඳහා අධිකාරිය පනතක් සකස් කරලා දුම්රිය ඉතා ඉක්මනින් අධිකාරියක් කළොත් ක්ෂණික තීන්දු තීරණ ගන්න පුළුවන්. දෙපාර්තමේන්තු ක්‍රමයට වාණිජ කටයුත්තක් කරන්න බැහැ. ඒක ආසාර්ථකයි. දුම්රිය අධිකාරියක් කරන එකට සහාය දෙන්න, ඒ ප්‍රශ්න ටික විසඳාගත හැකියි.


IMF යෑම හොඳ නැති නම් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි

විදේශ කටයුතු අැමැති අලි සබ්‍රි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම නුසුදුසු නම් පවතින තත්ත්වයන් කළමණාකරනය සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව විදේශ කටයුතු අැමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කෙළේය.

විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කෙළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කැර ගන්නා ලද එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අැමැති අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය පමණින් අපගේ සියලු අර්බුද විසඳීමට නොහැකි. පවතින තත්ත්වයන් කළමණාකරනය කිරීමට හැකි බව තේරුම් ගත යුතුයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විවේචන සිදු කරන අය විසින් සිදුකළ යුත්තේ විවේචනය වෙනුවට ප්‍රායෝගිකත්වයෙන් යුතු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන ඇති ගිවිසුමට අදාළ සියලු ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ දෙස රට පිළිබඳ අවංක හැගීමෙන් අවධානය යොමුකළ යුතුයි.

අයි. එම් .එෆ් .ගිය පමණින් අපගේ සියලු ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ඒ් අය අපට පෙන්වන්නේ මග පෙන්වීම පමණයි.

ඇතැම් අය අයි.එම්. එෆ්. යෑම ගැන විවේචන කරනවා. නමුත් එහෙම නම් විකල්ප ඉදිරිපත් කරන්න. ඒ වගේම වාසුදේව නානායක්කාර මහතා කිව්වා, මීට අදාළ සම්පූර්ණ ලේඛන සභාගත කර නැති බව .

නමුත් මම කියනවා, සියළු දේවල් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා පොදුවේ කියවා බැලුවොත් තේරෙනවා, එ් සියලු දේවල් තිබෙනවා. ඒ ඇරුණා ම ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස හා මහ බැංකු අධිපතිවරයා අත්සන් කරන ලද ලේඛන හා අයි .එම්. එෆ්. අත්සන් කරන ලද ලේඛන ඇතුළුව සියලු ලේඛන සභාගත කරනවා.

ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. කව්රු මොනව කිව්වත් එය අතිශය බරපතළයි. අපට විශාල ණය ප්‍රමාණයක් තිබුණා. ඒ් වගේම කොවිඩ් තත්ත්වය, පාස්කු ප්‍රහාරය, යුක්‍රේන අර්බුදය නිසා මිල ගණන් ඉහළ යෑම ආදියත් අපට බලපෑම් කළා. මෙන්ම ආර්ථිකමය වශයෙන් අප ගත් වැරදි තීන්දු තීරණ ආදිය නිසාති මේ තත්ත්වය ඇතිවුණා. ඒ් වගේම අපි අපි සියලු දෙනාම පාහේ ජාත්‍යන්තර මූල අරමුදල වෙත යා යුතුය යන මතයේ සිටියා. මම, රමේෂ් පතිරණ, උදය ගම්මන්පිල අපි තිදෙනාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතුය යන මතයේ දැඩිව සිටියා. එයට විරුද්ධ වුණේ වාසුදේව නානායක්කාර මහතා පමණයි. නමුත් කව්රුන් හෝ අදෘශ්‍යමාන බලවේගයක් එය නතර කර ගෙන හිටියා. අපි ජනතාවට දැනෙන විසඳුම් ලබාදිය යුතුයි. බදු හිල මෙන්ම බදු දැල කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. වැඩියෙන් උපයන විට වැඩියෙන් ගෙවිය යුතුයි.ජනතා විමුක්ති පෙරමුණ කියන විදිහට බදු ගෙවිය යුත්තේ සල්ලි කාරයන් පමණයි. ඒකද සමාජවාදය. සම්පූර්ණයෙන් ම රාජ්‍ය ආදායමෙන් සියයට හැත්තැ පහකට වැඩි ප්‍රමාණයක් ණය ගෙවීමට වෙන්කරනවා. මේක මොන තරම් සාධාරණද. මේ සියල්ල කළමණාකරනය කළ යුතුයි. අපනයන වෙළෙදපොළ ඉලක්ක කරගත් ව්‍යවසායක පිරිසක් ඇතිකළ යුතුයි.

රටක් වශයෙන් අපි ඉදිරියට යනවානම් අසීරු ප්‍රශ්න වලට අපි පිළිතුරු සෙවිය යුතුයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන රැසක් අප සිටින තැන ගැන සඳහන් කර තිබෙනවා. විවේචන වෙනුවට සාධනීය යෝජනා ඉදිරිපත් කරන්න. අපි විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ අයි .එම්. එෆ් . යන්න එපා නම් විකල්ප ඉදිරිපත් කරන්න.පිඟන් හෝදන්න ඕනෑ බිදෙන්න. විපක්ෂයේ ඇතැම් අය කියනවා, ඒ අය අයි. එම්. එෆ්. ගියොත් අයි .එම්. එෆ්. කොන්දේසි වලට නොවයෙි, ඒ අයගේ කොන්දේසි වලටලු වැඩකරන්නේ . එහෙම වෙන්න පුළුවන්ද. තව කෙනෙක් කියනවා, අපේ ණය ටික වෙනත් රටකට දෙන්නලු. මේවා කරන්න පුළුවන්ද. අපේ සංචාරක කර්මාන්තය තුළ දැන් යම් වෙනසක් සිදු වෙනවා. අපනයනවල යම් ප්‍රගතියක් දක්නට ලැබෙනවා.කොවිඩ් කාලයේ පවා අපනයන යම් ප්‍රමාණයක වර්ධනයක් දක්නට ලැබෙනවා.අපේ ණය ප්‍රතිශතය විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. අපට දැන් යම් විශ්වාසයක් තිබෙනවා. සංචාරක කර්මාන්තයෙහි යම් වර්ධනයක් තිබෙනවා . අනෙකුත් අංශවල ප්‍රගතියක් තිබෙනවා. මම හිතනවා, විවේචනය කළාට කමක් නැහැ. නමුත් අපි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.


රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා

මන්ත්‍රී රිෂාඩ් බදියූදීන්

රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගැනීමෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව පුත්තල දිස්ත්‍රික් මන්ත්‍රී රිෂාඩ් බදියූදීන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව පැවැති විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

එහෙත් ආර්ථික වශයෙන් තවමත් යම් පසුබෑමක් තිබෙනවා. රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට නම් මුලින්ම ජාතිවාදය, ආගම්වාදය තුරන් කළ යුතුයි. එසේ සිදු වුණහොත් ආයෝජකයන් වැඩි වශයෙන් ආයෝජනයන් කරනවා.

අපේ රට 16 වතාවක් අයි.එම්.එෆ්. ගිහින් තිබෙනවා. 17 වැනි වතාවටත් ගියා. රට බංකොලොත් වුණාට පස්සෙයි යන්න වූණේ. ඒකෙන් කළු පැල්ලමක් ඇති වුණා. එම නිසා ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටින්නේ යම් යම් සංශෝධනයන් කර හෝ රට පෙර තිබූ තත්ත්වයට ගන්න කියලා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනයන් වැඩි කරන්න ඕනෑ. ආයෝජනයන් වැඩි කරන්න ඕනෑ. එහෙත් ආයෝජකයන්ට නිදහසේ ආයෝජනය කරන්න පරිසරයක් නැහැ. ඇතැම් නිලධාරීන් ඉතා දූෂිත ලෙසයි කටයුතු කරන්නේ. මේ දේවල් දැකලත් ජනාධිපතිවරයා අහක බලන් ඉන්නවද කියන සැකය අපිට හිතෙනවා. අපේ රටට සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි වැඩසටහන් සකස් කරන්න ඕනෑ. එහෙම වුණහොත් අපිට ඩොලර් හොයා ගත හැකියි. දහස් ගණන් රැකියාවන් අපේ තරුණ තරුණියන්ට අහිමි වෙලා. ඒ අවස්ථා යළි ඇති කරන්න ඕනෑ. ඒ වගේම මේ රටේ ඇතැම් පිරිසක් ජාතිවාදි, ආගම් වාදි හැගීම් ඇති වෙන විදියටයි වැඩ කරන්නේ. එය දිහා ආණ්ඩුව බලන් ඉන්නවා මිසක් එය වලක් වන්න කිසිවක් කරන්නේ නැහැ කියන මතයයි ජාත්‍යන්තරයට ය


ඡන්ද අපේක්ෂකයා ඉදිරිපත්ව සිටින බල ප්‍රදේශයෙන් පිටත රාජකාරී කිරීමට අවස්ථාව

අගමැති කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාට ඡන්දයට ඉදිරිපත්ව සිටින බල ප්‍රදේශයෙන් පිටත බල ප්‍රදේශයක රාජකාරී කිරීමේ අවස්ථාව සලසා දීමට විෂය භාර ඇමැතිවරයා ලෙස අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) පැවැසීය.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු පසු නැවත රාජ්‍ය සේවයට එකතු වීමට අවස්ථාව සැලසෙනවා.

ඇතැම් ආයතන ප්‍රධානීන්ට රාජ්‍ය සේවකයා යන්න නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට නොහැකි වීමෙන් ඇතැම් ප්‍රශ්න පැන නැගී තිබෙනවා.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් වෙනකම් මූලික වැටුප ගෙව්වා. ඇතැම් ආයතන ප්‍රධානීන්ට රාජ්‍ය සේවය හඳුන ගන්න බැහැ. අපි කියලා තිබෙන්නේ නිවාඩු අරන් තිබෙන සියලු රාජ්‍ය සේවකයන්ට මූලික වැටුප් ගෙවන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිළිව කියලා තිබෙනවා රාජ්‍ය සේවකයා කියන්නේ කවුද කියලා. තමන් ඉල්ලන පළාත් පාලන ආයතනයෙන් පිට ළඟම ස්ථානයකට තාවකාලිකව පත් කරලා නැවත රාජ්‍ය සේවය යන්න අවස්ථාව සලසමින් විෂය භාර ඇමැතිවරයා ලෙස අගමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

සමහර තැන්වල මහත්තයා ඡන්දය ඉල්ලනවා නම් නෝනටත් මාරු වීමක් දීලා. කොහෙවත් එහෙම එකක් කියලා නැහැ. ඒක මූලික අයිවාසිකමක් කඩ කිරීමක්. හිතුමතේ මාරුවීම් දීල තියෙන්නේ.ඒක වැරැදි ක්‍රියාවක්. එය නිවරැදි කරන්න කියනවා.


2020 ඩොලර් බිලියන 10.5ක් වුණ අපනයන ආදායම 2022දී ඩොලර් බිලියන 12.5 දක්වා වැඩි වුණා

ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

වසර 2020 දී ඩොලර් බිලියන 10.5 ක් වුණ අපනයන ආදායම 2022 දි ඩොලර් බිලියන 12.5 දක්වා වැඩි වී ඇති බව වැවිලි හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ පැවැති විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

අපහසුතා හා අභියෝගයන් මැද කර්මාන්තකරුවන් ලබාදුන් සහයෝගය නිසා ආදායම වැඩිකරගත හැකි වූණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මේ මුදල සුළු මුදලක්. මේ සුළු මුදල සමඟ නැවත මූල්‍ය විශ්වාසනීයත්වය ඇති වෙලා තිබෙනවා. නිදහසින් පස්සේ හොඳ දේවල් වගේම වැරැදි දේවල් පවා සිදු වෙලා තිබෙනවා. එය නැවත සිදු නොවන විදියට වටහා ගෙන සියලු දෙනා එකතු වෙලා ජයග්‍රාහී මාවතකට රට ගෙන යා යුතුයි. 2022 වසර වඩා ඉදිරියට යෑමට අවශ්‍ය වටපිටාව හදපු ජනාධිපතිවරයාට, මහ බැංකු අධිපතිවරයාට සහ අපහසුවෙන් හෝ ප්‍රතිපත්ති තීන්දු තීරණ ගත්ත සියලු දෙනාට ස්තූතිය පුදකර සිටිනවා.රටට විදේශ විනිමය ලැබෙන ක්‍රම 05ක් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ, විදේශ ආයෝජන, විදේශ ණය සහ විදේශ ආදායම. මේ රටේ ඇති පාස්තු ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. කොරෝනා එක්ක විදේශ රැකියාවලට ජනතාව යවන්න බැරි වුණා. මේ මූල්‍ය ප්‍රභවයන් දෙකම නැති වුණා. අපිට විදේශ ආයෝජන අල්ප වශයෙන් ලැබිලා තිබෙන්නේ. ණය ගත්තා. එහි සමහර ආයෝජන ප්‍රතිඵලදායක නොවන බව අපි දන්නවා. අපහසු වසර තුනක කාලය තුළත් ලංකාවේ නිෂ්පාදකයෝ ඉන්ධන නැතුව, අමු ද්‍රව්‍ය නැතුව, විදුලිය නැතුව තමන්ගේ නිෂ්පාදන කර ගෙන ගියා.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය, බෝට්ටු, ඖෂධ, අත්කම් නිෂ්පාදනය වැඩි දියුණු වෙලා තිබෙනවා. අපහසුවෙන් හරි එම කර්මාන්ත දියුණු වී තිබෙනවා. මෙහි තුන්වැනි කාර්තුව වෙන කොට ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කරන්න පුළුවන් කියලා මහ බැංකු අධිපතිවරයා විස්වාස කරනවා. ඉදිරියේ දී කර්මාන්තකරුවන්ට සහාන රාශීයක් ලැබේවි කියන විස්වාසය අපිට තිබෙනවා.


IMF සම්බන්ධ විවාදය කිසිඳු වැදගැම්මක් නැති විවාදයක්

මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සිදු කළ විවාදය කිසිඳු වැදගැම්මක් නැති විවාදයක් බව මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.

මන්ත්‍රිරවා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ගිවිසුම අස්සන් කිරීමෙන් පසු විවාදයට ගැනීමෙන් එහි කිසිඳු පළක් නැහැ. ඒ සඳහා ගනු ලබන ඡන්දයට සිය පක්ෂය සහභාගි වන්නේ නැහැ.

අයි.එම්.එෆ්. ගිවිසුම අස්සන් කළාට එහි කියන ඇතැම් කාරණා කිසිවක් ඉටු කරලා නැහැ. එහෙත් එහි බඳු ප්‍රතිපත්තිය විතරක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එදා බදු අය කර ගැනීම හරියට කරා නම් අද මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මේ රටේ ආයෝජනය කරන්න හොඳ පරිසරයක් නැහැ. ආණ්ඩුව ඡන්ද වලින් පැන යනවා. අපි කියන්නේ වහාම පළාත් ඡන්දය පවත්වන්න කියලා. එහි බලය ජනතාවට ලබා දෙන්න.අපි කැමැති මේ රට දියුණු කරන්න සහයෝගය දෙන්න. එතකොට ආයෝජන ගෙන්න අපි සූදානම්. ඒ සඳහා අපිට අවස්ථාව ලබා දෙන්න. හැබැයි ආණ්ඩුවත් සද්භාවයෙන් කටයුතු කළ යුතුයි


අධ්‍යාපනය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් විය යුතුයි

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් නොකිරීම හේතුවෙන් සිසුන් දැඩි පීඩාවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අනාවරණය කෙළේය.

ඔහු මේ බව ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය. එම කාරක සභාව එහි සභාපති අධිකරණ ඇමැති, ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී රැස්විය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට සහ ඒ සඳහා ඉදිරිපත් කළ හැකි යෝජනා සහ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම පිණිස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කමිටුව හමුවට කැඳවා තිබිණි.

අධ්‍යාපනය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් විය යුතු බව අවධාරණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පෙන්වා දුන්නේ උසස් අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා හේතුවෙන් මතුවන පීඩනය දරා ගත නොහැකිව බොහෝ සිසුන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය බිඳ වැටෙන බවයි.

එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය තවමත් අධ්‍යයන දින කාලසටහන ඉදිරිපත් කර නොමැති බවත් සබරගමුව විශ්වවිද්‍යාලය තවමත් විභාග පැවැත්වීමට කටයුතු කර නොමැති බවත් මෙහිදී අනාවරණය විය.

ඒ අනුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් සාමූහිකව සාකච්ඡා කිරීම සඳහා කාරක සභාව හමුවට කැඳවා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට කමිටුව තීරණය කෙළේය.

කමිටු සාමාජිකයන් වන රාජ්‍ය ඇමැති, වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය චරිත හේරත් සහ දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීන් කාරක සභා රැස්වීමට සහභාගි වූහ.


2030 වන විට ආරක්ෂක අංශ සාමාජික සංඛ්‍යාව ලක්ෂයකට අඩු කරනවා

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර

දෙලක්ෂ අටදහසක් වන ආරක්ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාව 2030 වසර වන විට ලක්ෂය දක්වා අඩු කිරීමට ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළේය.

රජයේ වියදම් කළමනාකරණයට විධිමත් සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, රට පත් වූ අර්බුදකාරි අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගැනීමට තීරණය කිරීම කාලෝචිත බවත් ඇමැතිවරයා පැවසීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

අප දැඩි ආර්ථික පසුබෑමකට ලක් වීමෙන් පසුවයි නැවත ගොඩනැඟෙමින් සිටින්නේ. ඒ වගේම කොවිඩ් තත්ත්වය මෙන්ම අස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති ආදියත් මේ තත්ත්වයට හේතු වී තිබෙනවා. වත්මන් ප්‍රශ්නය අපට අවතක්සේරු කරන්න බැහැ. වර්තමාන කාල සීමාවේදී ණය පැහැර හැර ඇති රටවල් හතක් තිබෙනවා. ඊට ඇතුළත් එකම ආසියාතික රට ශ්‍රී ලංකාව. මෙවැනි ප්‍රමාණයකට මුදල් අඩු වෙන කල් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළ රට ශ්‍රී ලංකාව. එහෙත් අද වන විට අපි යම් ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා. එක ප්‍රශ්නයකට විසඳුම් සොයන විට තවත් ප්‍රශ්නයක් එනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ යම් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ යුතුයි. සිවිල් අරක්ෂක බළකායේ 33,000ක් ඉන්නවා. එයින් 2,121ක් ඉන්නේ පන්සල්, පල්ලි, කෝවිල්වල. ඒ සඳහා රජය දරන මුළු වියදම බිලියන 1.5ක්. අපි දන්නේ නැහැ මේ අය මොනව කරනවද කියලා. ගහල තිබෙන අලි වැට බලාගන්න අප යොදවා තිබෙනවා 4,484ක්. බිලියන 2.6ක් මේ සඳහා අපට වියදම් කරන්න සිදුව තිබෙනවා. 4,493ක් බහුකාර්ය කාර්යසාධක ව්‍යාපෘති සඳහා යොදවා තිබෙනවා. ඒ අය වෙනුවෙන් බිලියන 1.24ක් වැය කරනවා. ගහල තිබෙන අලිවැට ආරක්ෂා කරන්නට විතරක් අපි 9,000ක් රාජ්‍ය සේවකයන් යොදවා තිබෙනවා. එහෙත් අලි ප්‍රශ්නය විසඳීත් නැහැ. අලිත් ගමට එනවා. අලි මිනිස්සුත් මරනවා. මිනිස්සු අලිත් මරනවා. බිලියන 4ක් විතර මේ සඳහා වසර ගණනාවක් තිස්සේ වැය කරනවා. මේ තත්ත්වය අපට දිගටම ගෙනයන්න පුළුවන් කියලා අප විශ්වාස කරන්නේ නැහැ.‍ දෙලක්ෂ අට දහසක ආරක්ෂක හමුදාව ලක්ෂය දක්වා 2030 දක්වා ක්‍රමානුකූලව අඩු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. රජයේ වියදම පැත්තෙන් අප සාධනීය පියවර රැසක් ගෙන තිබෙනවා. අප පැහැදිලි වැඩ සැලැස්මක් ඇතිව මේ කටයුතු සිදු කරනවා. අපි හැමදාම රටේ දේශපාලනය, අනාගතය, ආර්ථිකය පටලවාගත්තා. එදා වේල ටුවර්ස් වගේ විසඳුම් ගන්නේ නැතිව අවශ්‍ය වෙලාවේ ගත යුතු තීන්දු තීරණ ගත යුතුයි. ඒ නිසා රට තුළ ඇතිවූ තත්ත්වය හමුවේ එම අර්බුද කළමනාකරණය සඳහා ගන්නා ලද මේ තීන්දුවට සහාය දක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here