Home Politics News Room : සියලු නායකයන්ට ආර්ථික ලණු දුන්නේ පී.බී. ජයසුන්දර

News Room : සියලු නායකයන්ට ආර්ථික ලණු දුන්නේ පී.බී. ජයසුන්දර

3
0

ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

මෙරට සියලු දේශපාලන නායකයන්ට ආර්ථික ලණු දුන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්ව සිටි පී.බී. ජයසුන්දර මහතා බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

සෑම දේශපාලන නායකයකුම සද්භාවයෙන් කටයුතු කරන විට දේශපාලන ලණු දී මෙරට ආර්ථිකයට මෙවන් ඉරණමක් අත්කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවකු බවට පී.බී. ජයසුන්දර මහතා‌ පත් වන බවද හෙතෙම පැවසීය. එමෙන්ම මෙම අර්බුදය සඳහා පාර්ලිමේන්තුවත් ප්‍රධාන වගඋත්තරකරුවකු වන අතර අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු වෙනුවට එදිනෙදා එදිනෙදා සරල දේවල් පිළිබඳව පාර්ලිමේන්තුව අවධානය යොමුකරන බවද ඇමතිවරයා පැවසීය.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය:

“අපේ රටේ නිදහසින් පසුව මේ පාර්ලිමේන්තුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් මෙවන් වූ යම් යම් සාකච්ඡා සිදුව තිබෙනවා. මීට පෙර තිබුණ 16 වතාවේදීම ඊට අදාළ ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විශේෂයෙන්ම සිංහල පරිවර්තනයක් ඇතිව කටයුතු කර නැහැ. ඒ නිසා 2016 දී ඔබතුමාලා මේ ගිවිසුමට යන වෙලාවේ කිසි ලෙසකින්වත් සොයා ගැනීමට නොහැකි වූ නිසා මුදල් ගෙවලා සිංහල භාෂාවට පරිවර්තනය කරවූවා. එය මම පොතක් ලෙස මුද්‍රණය කළා. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට විලංගු‘ ලෙස මේ පොත පොත් කඩවල තිබෙනවා.

“2003 වසරෙදී මූල්‍ය කළමණාකරන වගකීම් පනත නමින් පනතක් අපි පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ පනතේ ප්‍රධාන අරමුණු තුනක් තිබුණා. 2006දී මේ රටේ අයවැය පරතරය සියයට හය දක්වා අඩු කර, ඉන් පසුව සියයට පහ දක්වා අඩුකිරීමයි. ඒ වගේම 2013 වසරේදී රාජ්‍ය ණය සියයට හැටපහ දක්වා අඩ අඩු කිරීමත් සැලසුමක් වුණා. ඒවා කළේ නැහැ. මේ සියල්ල ආපසු හැරවීමේ වගකීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් වූ පී.බී. ජයසුන්දර මහතා භාර ගත යුතුයි. කැමති වුණත් නැතත් ඔහු තමයි මේ රටේ සිටින දේශපාලකයන්ට දීපු තරමක් ආර්ථික ලණු දීලා තිබෙන්නේ. මේ රටේ හැම දේශපාලන නායකයෙක්ම යහපත් ලෙස කටයුතු කරන්නට යනකොට දෙන්න පුළුවන් හැම ලණුවක්ම දීලා කැබිනට් මණ්ඩල ඇමැතිවරු සියල්ල පහතට දාලා මේ ගමන එන්න ඔහු ප්‍රධාන වග උත්තරකරුවෙක්. ඔහු ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය කරන ක්‍රියාව දේශපාලනඥයන් ලවා කරවනවා. ඔවුන් නිදහසේ ඉන්නවා. දේශපාලනඥයන්ට හදලා දෙන ඒවා තමයි ඇවිත් කියන්නේ. අයවැය හදන්නේ නිලධාරීන්. දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තියනවා. ඒ නිසා දැන්වත් අපි යථාර්ථයට මුහුණ දිය යුතුයි. යථාර්ථයට පටහැනි මනෝරාජික කතාවක් ජනාධිපතිවරයා සිදු කළ බව අනුර දිසානායක මහතා සඳහන් කළා. ඕන ඕන විදිහට කියන්න පුළුවන්.“


හෙද සේවක පුරප්පාඩු පුරවන්න වැඩපිළිවෙළක් සකසනවා

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

රෝහල්වල පවතින හෙද සේවක පුරප්පාඩු පිරවීමට වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවැසීය.

හෙද සේවකයන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

2023 වසර සඳහා හෙද සේවයට නවක සිසුන් 5,500ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් ඇත්තේ පළාත් රෝහල් වල බවත් ජාතික සහ පළාත් රෝහල් අතර සේවකයන් මාරු කිරීම නිල වශයෙන් සිදු කළ නොහැකි බවත් රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

මේ සම්න්ධයෙන් ඉදිරියේදී පොදු එකගතාවකයට එන්න බලාපොරොත්තු වන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ලෝකයේ විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින රැකියා සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයන් යොමු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද සහායකයන් සඳහා මිලියන 13ක අවශ්‍යතාවක් තිබෙනවා වෙනම පුහුණුවක් දී මේ සඳහා බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ හෙද සේවයේ විශාල ඉඩක් තිබෙනවා. ඉදිරියේදී විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව ඉංග්‍රීසි භාෂා පුහුණුව දී මෙම පිරිස පුහුණු කරනවා යැයිද ඇමැතිවරයා පැවසීය.


අයිඑම්එ‍ෆ් ගිවිසුමේ කොන්දේසි ඉල්ලුවත් තවමත් පාර්ලිමේන්තුවට දී නැහැ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පසුගිය සැප්තැම්බර් මාසයේදී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව වාර්තා වූ අවස්ථාවේ සිටම, එම ගිවිසුමේ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුව හමුවේ තබන ලෙස ඉල්ලීම් කළද එම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

විනිවිදභාවයෙන් තොර වූ ආණ්ඩුවේ එම හැසිරීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර, තීරණාත්මක තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව විසින් ජනතාව රවටාලීමට කටයුතු කිරීම ද කණගාටුවට කරුණක් බවද විපක්ෂනායකවරයා පැවසීය.

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාදාමය තුළ මෙරට බැංකු සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරවත්වය රැකගැනීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු බවද විපක්ෂනායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රශ්නයක් මතු කරමිනි.


මූල්‍ය අරමුදලට කවුරුහරි විරුද්ධ නම් ඊට විකල්පයක් රටට හෙළි කළ යුතුයි

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ වෙනුවට විකල්පයක් රටට හෙළි කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසීය.

එම අරමුදලට යා හැකි වූයේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වූ නිසා බව ඇමැතිවරයා කීවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ආර්ථිය නැවත සකස් කර ගැනීමට නම් මූල්‍ය අරමුදල දුන් මාර්ග සිතියම ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ නොකළ හොත් ඉදිරියට යා නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය:

“ජාත්‍යන්තරය අරමුදලට යා යුතුයි කියන මතයේ අප සිටියා. කැබිනට් එකේ ඇතැම් පිරිසක් ඊට විරුද්ධ වුණා. ඒත් අපට ගොඩ යන්න යන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට යන්න පුළුවන් වුණේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වුණ නිසයි. විපක්ෂ නායකවරයා පවා කිවුවා ඔවුනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියලා. එතුමා කිවුව දේත් අද ඉටු වෙලා තිබෙනවා. ඒ නිසා විපක්ෂ නායකවරයාත් ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. විපක්ෂය කිවුවා බඳු අඩු කරපු එක වැරදියි කියලා. දැන් නැවත අය වැඩි කරද්දී එයත් වැරැදියි කියන්න බැහැ. සමහරු අහනවා අලාභ ලබන ඒවා ප්‍රතිව්‍යූහගත කරනවා වගේම ලාභ ලබන ඒවා ප්‍රතිව්‍යූහගත කරන්නේ කියලා. ආණ්ඩුව බිස්නස් කරන්නේ නැහැ. ලෝකයේ බොහෝ රටවල ආණ්ඩුව බිස්නස් කරන්නේ නැහැ. පෞද්ගලික අංශයත් එක්ක තරග කරන්න නම් අපට ඇතැම් ආයතන ප්‍රතිව්‍යූහගත කරන්න වෙනවා


දිළිඳු ජනතාවට සහල් කිලෝ දහය බෙදාහැරීම විනිවිද භාවයෙන් කළා

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

අඩු ආදායම් ලාභීන් හා ආර්ථික වශයෙන් පීඩාවට පත් ජනතාවට සහල් කිලෝ දහය බැගින් බෙදා හැරීමේ වැඩසටහන විනිවිද භාවයෙන් යුතුව සිදු කළ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය. මේ වැඩසටහන සඳහා අඩු ආදායම් ලාභීන් හා ආර්ථික වශයෙන් පීඩාවට පත් පිරිස් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ හදුනාගැනීම සිදු කළ බවත් එම වැඩසටහන රහසිගතව සිදු නොකළ බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයකින් පසුව නැඟී සිටිමිනි.“අඩු ආදායම් ලාභීන් හා ආර්ථික වශයෙන් පීඩාවට පත් ජන කොටස් නිශ්චිතව තවමත් හඳුනා ගනිමින් සිටිනවා, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ. ඒ් නිසා මෙතුමා මේ මතු කරන කාරණයත් ජූනි මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන කාරණයත් කියන්නේ දෙකක්. ඒ් නිසා මෙතුමා දිගටම ප්‍රශ්න කළා, ජනාධිපතිවරයා සඳහන් කළ දේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නොතේරුණු බවට. මට තේරෙන විදිහට ජනාධිපතිතුමාගේ ප්‍රකාශය විපක්ෂ නායකතුමාට අවබෝධ කරගන්නට බැරි වී තිබෙනවා.“


ප්‍රතික්ෂේපිත විදුහල්පතිවරයකු දැමීමෙන් නක්කාවත්ත මහින්දේ නම කැත වෙලා

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

ප්‍රතික්ෂේප වූ විදුහල්පතිවරයකු කුලියාපිටිය නක්කාවත්ත මහින්ද මධ්‍ය විද්‍යාලයට පත් කිරීමෙන් එම විද්‍යාලයේ කීර්තිය විනාශ වෙමින් යන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවැසීය.

මේ පිළිබඳ අවධානය යොමු කර නිසි විදුහල්පතිවරයකු පත් කරන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානය යොමු කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය:

“රාජ්‍ය සේවා කොමිසම නිසා මීට අතගහන්න බැහැ කියල අධ්‍යාපන නිලධාරීන් කියනවා. ස්වාධීන කොමිෂන් පත් කරන්නේ පාසල් විනාශ කරන්න නෙවෙයි. දරුවන්ගේ අනාගතය විනාශ කරන්න නෙවෙයි. මේ පාසල් වලින් දරුවෝ විනාශ කරනවා. විරෝධනය පාන්න දෙමව්පියන්ට එන්න උනා. දරුවන්ට පාරට බහින්න වුණා. එහෙම උනාම පොලිසිය ගිහින් විදුහල්පතිවරයා ජීප් රථයේ දාගෙන ගෙනියන්න සිදු වුණා. අධ්‍යපනය කඩාකප්පල් කරන්න එපා කියලා කියනවා. නව දක්ෂ විදුහල්පතිවරයෙක් දාන්න. කීර්තිමත් පාසලක් විනාශ වෙන්න ඉඩ දෙන්න එපා කියලා අධ්‍යාපන ඇමැතිවරයගේ අවධානය යොමු කරනවා.“


මුල් මාස හතරට මැණික් අපනයනයෙන් කෝටි 17කට වැඩි ආදායමක් උපයලා

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක

මේ වසරේ මුල් මාස හතරට පමණක් මැණික් අපනයනයෙන් රුපියල් කෝටි 17කට (මිලියන 170) වැඩි ආදායමක් උපයා ඇතැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසීය.

මේ වසර අවසාන වන විට එම ආදායම මිලියන 500ක් දක්වා වැඩි කරගැනීමට හැකි වනු ඇතැයි ද හෙතෙම කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහෙත් පසුගිය 2022 වසරේ දී මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයාගත හැකි වූයේ මිලියන 170ක අදායමක් පමණක් බවත් ඒ අනුව පසුගිය වසරට වඩා මිලියන 330ක් වැඩි පුර උපයාගැනීමට හැකි වනු ඇති බවත් දසනායක මහතා කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය:

“මේ රටින් ගෙනයන මැණික් හා ස්වර්ණාභරණවලින් ඩොලර් එන විදියේ වැඩසටහනක් හදලා තිබෙනවා. එවැනි කටයුතු කිරීමට මේ රටේ ජනාධිපතිවරයගෙන් පටන් ගත්තම අවසාන පුද්ගලයා දක්වා වැඩ කළ යුතුයි. එහෙම නැතුව වැඩ නොකර දෙපැත්තට බෙදිලා කියව කියව හිටියට පලක් නැහැ.“


සිංහලෙන් ලියලා දීපු ප්‍රශ්නෙ ආන්ද්‍රා භාෂාවකට දාගෙන!

මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන

ප්‍රශ්නය, පැහැදිලිව ව්‍යවහාර සිංහලෙන් ලියා දුන්නත්, එය ආන්ද්‍රා ප්‍රදේශයේ භාෂාවකටදෝ පරිවර්තනය කර, ස්ථාවර නියෝගද උල්ලංඝනය වන අයුරින් අදාළ පාර්ලිමේන්තු කාර්යංශය වැරදි අමාත්‍යාංශයකට යොමු කර ඇතැයි මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවැසීය.

විදේශ රැකියා නියුක්තිකයන් සිටින රටවල් හා නගර, ප්‍රේෂණය කරන මුදල් ආදිය පිළිබඳ මන්ත්‍රීවරයා විමසා තිබූ ප්‍රශ්නයක්, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වෙත වෙනස් ආකාරයකට යොමු කර තිබූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මේ ප්‍රශ්නය තමන් ඉල්ලා සිටි ඇමැතිවරයා වෙත යොමු කර, මීළඟ පාර්ලිමේන්තු දිනයේ ප්‍රමුඛතාව දෙන ලෙස මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.


මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට නිදහස ජනතා සභාව විරුද්ධයි

මන්ත්‍රී චරිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගෙන ඇති ගිවිසුමට, නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පාර්ලිමේනතුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති මෙම ගිවිසුම කියන තරම් සරල, සුන්දර ගිවිසුමක් නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් චරිත හේරත් මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත හේරත් මහතා මෙසේද පැවසීය:

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන මෙම එකඟතා අනුව කොන්දේසි බොහෝ ප්‍රමාණයක් පැනවෙනවා. ඇතැම් අණ පනත් සම්මත කිරීමට නියමිත දින පවා ඒම අරමුදල විසින් අපට දී තිබෙනවා. මෙය කියන තරම් සුන්දර ගිවිසුමක් නෙවෙයි. ගිවිසුම පාර්ලිමේන්තුවට, කැබිනට් එකට ඉදිරිපත් කරන දින පවා කියනවා. ඒත් පාර්ලිමේන්තුවේ සම්මත කරන දිනය කියන්න බැහැ කිසිම කෙනකුට. මේ ලේඛනයේ පළමු වතාවට ඒ් දිනය පවා අයි එම් එෆ් කියනවා. ඒ්ක වැරදියි. ආකෘතිමය ලෙස ගත්තම එය වැරදියි. රාජ්‍ය ආයතන 52ක් ප්‍රතිසංස්කරණය ගැන මෙහි සඳහන් නැහැ. ඒ් නිසා ඒ් ආයතන මොනවද කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ ගිවිසුම කියන තරම් සුන්දර නැහැ. ඒ් නිසා නිදහස ජනතා සභාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට විරුද්ධව කටයුතු කරනවා.“


රනිල් සූත්‍රය ක්‍රියාත්මක කරන්න යෑමෙන් වන්නේ ආර්ජන්ටිනාවට වූ දේමයි

මන්ත්‍රී උදය ගම්මන්පිල

ආර්ථික අර්බුදය හමුවේ රනිල් සූත්‍රය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් සිදු වන්නේ ආර්ජන්ටිනාවට සිදු වූවාක් මෙන් අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි වීම බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය:

“මේ විවාදය අසම්පූර්ණයි. මේ විවාදය පවත්වන්නේ විවාදයට අදාළ ලේඛන සියල්ල මේ සභාවට ඉදිරිපත් කරන්නේ නැතිව. 2022 සැප්තැම්බර් මාසයේ ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර නිලධාරි මට්ටමේ ගිවිසුමක් Staff Level Agreement අත්සන් කළා. ඒක තමයි විස්තරාත්මක ගිවිසුම. ඒ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලුවාම ජනාධිපතිතුමා කිව්වේ මණ්ඩල මට්ටමේ ගිවිසුම Board level agreement අත්සන් කළාම දෙකම එකවිට සභාගත කරනවා කියලා. දැන් කෝ ඒ ගිවිසුම? ඇයි පොරොන්දුව ඉටු කරමින් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ?“


මූල්‍ය අරමුදලට යා යුතු බව අප කීවේ රට බංකොලොත් වෙන්න කලින්

මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුලට යා යුතු බව තමන් කී‍වේ රට බංකොලොත් වීමට ප්‍රථම බවත්, එහෙත් දැන් ඊට ගොස් ඇත්තේ රට බංකොලොත් වූ පසුව බවත් සමඟි ජනබල වේගයේ පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවති විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ලෝකයේ රටවල් 08ක් හැර සියලු රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් තිබෙන බව ඒ මහතා සඳහන් කළේය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය:

“අයිඑම්එෆ් එකට 16 වතාවක් ගියා. එහෙත් මෙවර යෑමේ විශේෂත්වයක් තිබෙනවා. ඒ මෙවර රට බංකොළොත් වුණාට පස්සෙයි ගියේ. අප බංකොළොත් වෙන්නකලින්ම තමයි කිවුවේ යන්න කියලා. මුලින්ම තිබෙන්න ඕනෑ විනිවිදභාවය. අප දන්නවා නිලධාරී මට්ටමින් සාකච්ඡා තිබුණා. මාස ගණනක් ගිහින් තමයි ගිවිසුම අත්සන් කරන්න පුළුවන් වුණේ. සමහර රටවල් අයිඑම්එෆ් එකත් එක්ක දින ගණනින් ගිවිසුම් අත්සන් කළා.“


ජනපති මනෝ ලෝකයක් ඉදිරිපත් කළත් පොළොවේ යථාර්ථය වෙන එකක්

මන්ත්‍රී අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයාගේ මනෝරාජික ලෝකයක් ඉදිරිපත් කළත් පොළොවේ යථාර්ථය වෙන එකක් බව ජාතික ජනබල වේගයේ නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසීය.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව නැඟී සිටි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට මනෝ රාජික සිහින දකින්නත්, සතුටට ප්‍රමෝදයට පත් වෙන්නත් පුළුවන් බව පැවසූ ඒ මහතා එහෙත් ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැඹුරෙහි අර්බුදයන් පොළොවේ සැබෑ ජනතාවගේ ජීවිත යටපත් කරගෙන යන යථාර්ථයකට මුහුණ දෙමින් සිටින බව කීවේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය:

“ජනාධිපතිවරයා මනෝරාජික අදහසක් ඉදිරිපත් කළා. පොළොවේ යථාර්ථය වෙන එකක්. එතුමා විසින් සකස් කරගන්නා ලද මනෝ ලෝකයත් සමාජයේ ජනතාව මුහුණ දී තිබෙන පොළොවේ යථාර්ථයත් අතර ගැටුමකට තමයි මුහුණ දී තිබෙන්නේ.“

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here