පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිර්ති නාමය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධාන ශක්තිය පාවිච්චි කර පාර්ලිමේන්තුවට පැමිණි ඇතැමුන් තම පක්ෂයට අභියෝග කිරීම විහිළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“අභියෝග පරාජය කර අභිලාස ජයග්‍රහණය කරගැනීමේ අරමුණින් මෙවර මැයි දිනය කැම්බල් පිටියේදී සවස 02ට අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා. ඒ සඳහා වන සංවිධාන කටයුතු මේ වන කොට සිදු වෙමින් පවතිනවා. අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් මේ සඳහා පවත්වනවා. අපි විශ්වාස කරනවා, ඉතිහාසය පුරාවටම අපි මේ රටේ මැයි දින පැවැත්වීමේ සංස්කෘතිය වෙනස් කළ පක්ෂයක් කියලා. අපි පක්ෂයක් විදිහට පවත්වපු පළවෙනි මැයි දිනයට ඓතිහාසික ජනගඟක් ගාලුමුවදොර පිටියට අරගෙන ආවා. අපි හැමෝටම ගෞරවයෙන් ආරාධනා කරනවා, මේ මැයි දින රැලියට එකතු වෙන්න කියලා. අපි විශ්වාස කරනවා, විශාල පිරිසක් රට වටෙන්ම එකතු වෙලා අති උත්කර්ෂවත් මැයි දිනයක් මේ රටේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් පවත්වන්න පුළුවන්කම තිබෙනවා කියලා.”
මහින්ද අලුත්ගෙදර







