විදෙස්ගත ශ්‍රමිකයින්ට සහ විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත පිරිසට අඩු පොලී ණය පහසුකම් ලබා දෙන බව කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
මේ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වුණා. මේ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ට රුපියල් මිලියන දෙකක් දක්වා අඩු පොලියට ණය ලබා දීමට අදාළ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද පූර්ණ ආශීර්වාදය හිමි වී තිබෙනවා. එමෙන්ම විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා මෙම ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මේ අතර විදේශ රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ දී එම පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල තොරතුරු පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් වෙනවා. විදේශගත වූ හා එම පවුල්වල තොරතුරු සොයාබැලීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මඟින් ප්‍රාදේශීය කාර්යාල මඟින් සංවර්ධන නිලධාරීන් යොදවා තිබෙනවා.





