අපොස උසස් පෙළ විෂයයන් දහයක ප්‍රධානීන් එම විෂයයන්වලට අදාළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පෙරේදා ( 24) ආරම්භ කළ බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ඒ අනුව උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමට අදාළ ගැටලුව කඩිනමින් විසඳෙන බව විභාග කොමසාරිස්වරයා දැනුම් දුන්නා. අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය දින දහයක් තුළ අවසන් කරනවා. පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම වැළැක්වීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. වෙනත් වසරවලදී න්‍යායාත්මක ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවෙන් පසුව ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වුවද ප්‍රායෝගික පරීක්ෂණ මුලින් පැවැත්වීමට තීරණය කළා. ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කළා.
අද මතුවෙලා තියෙන ප්‍රශ්නෙ මම දැක්කේ මාස දෙකකට කලින්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ මම පළමු වැනි සාකච්ඡාව කළා. පස්සේ භාණ්ඩාගාරය සමඟ දෙවැනි සාකච්ඡාව කළා. ඒ සාකච්ඡාවේදී ඉල්ලීම් හතරක් ඉදිරිපත් වුණා. පළමු ඉල්ලීම බදු ප්‍රතිපත්තිය. ඉදිරිපත් වුණු සියලුම ඉල්ලීම් සම්බන්ධයෙන් අපි මැදිහත්ව තිබෙනවා. මම මගේ පරිමාවෙන් ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගත්තා. මම මේ ගැනත් මහා භාණ්ඩාගාරය සමඟත් සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් අගමැතිතුමා දන්නවා. මේ සම්බන්ධයෙන් මම දිගින් දිගටටම සාකච්ඡා සිදු කළා.
ඇත්ත වශයෙන්ම මම එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා FUTA එකට. ඒ අය මාත් එක්ක නිරන්තර සංවාදයෙන් හිටියේ. පෙරේදා එවපු ලිපියට පිළිතුරු මම ඊයේ යැව්වා. ඒ අය සාධනීය ලෙස ඒක ගැන බලාවි. අද වෙද්දි ඒ ප්රශ්නය විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඊයේ පේපර් 10ක චීෆ්ලා ඇවිල්ලා ඒ කටයුතු ආරම්භ කළා.