පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
රටේ මීළඟ ජනපති අපේක්ෂකයා පක්ෂ බලය හෝ මාපිය උරුමය මත දේශපාලනයට පිවිසි පුද්ගලයකු නොවිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (23) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට පිළිබඳව නිසි දැක්මක් ඇතිව කටයුතු කරන්නේ නම් රනිල් රාජපක්ෂ කියමින් කුහක විවේචන ඉදිරිපත් නොකර අවශ්‍ය සහාය දිය යුතුයි. මේ රටේ රාජ්‍ය පාලකයා වීමට අනෙක් අයට නොමැති සුදුසුකම් රැසක් මට තිබෙනවා. ඉදිරියේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත් වීමට ජනතාව වෙතින් ඉල්ලීම් ලැබුණොත් ඒ සම්බන්ධව සලකා බලනවා.
මම මාපිය උරුමයෙන් හෝ තවත් දේශපාලනඥයකුගේ පිහිටෙන් දේශපාලනයට පැමිණි අයෙක් නොවේ. ඇමැතිවරයකු ලෙස මට පැවරුණු වගකීම් වංචාවෙන් සහ දූෂණයෙන් තොරව ඉටු කර අදාළ අමාත්‍යාංශ ලාභ ලබන තත්ත්වයට පත් කළ බව රටම දන්නා කරුණක්. දක්ෂ හමුදා නිලධාරීන්ට, සුපිරි ක්‍රීඩකයන්ට, අතීත පරම්පරා උරුමයන්ට හිමිකම් කියන පුද්ගලයන්ට, සාම්ප්‍රදායික පක්ෂ නායකයන්ට මින් පසු ජනපති අපේක්ෂකත්වය නොදිය යුතුයි. ආර්ථිකය නිවැරැදි ලෙස කළමනාකරණය කරමින් රට ගොඩනැඟීමේ හැකියාව ඇති අයකුට එම අවස්ථාව ලැබිය යුතුයි.”
අසේල කුරුළුවංශ